ලාංකික කත මැරූ ඊජිප්තු පෙම්වතා රිමාන්ඞ්



ඊජිප්තුවේ ගෘහසේවයේ නියුතු වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඝාතනය කළ ඇයගේ ඊජිප්තු ජාතික පෙම්වතා රිමාන්ඞ් කිරීමට එරට අධිකරණය නියෝග කර ඇතැයි එරට පළවන “ඉන්ඩිපෙන්ඩන්ට් ” පුවත්පත වාර්තා කර ඇත.

මෙලෙස රිමාන්ඞ් කරනු ලැබුවේ ආර් .මහමුද් නැමති 22 හැවිරිදි ඊජිප්තු ජාතික තරුණයෙකි.

ඊජිප්තුවේ ගෘහසේවයේ නියුතු වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇයගේ ඊජීප්තු ජාතික පෙම්වතා විසින් පිහියෙන් ඇණ ඝාතනය කර ඇතැයි එරට පළවන “ ඉන්ඩිපෙන්ඩන්ට් ” පුවත්පත වාර්තා කර තිබිණි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට පත්ව ඇත්තේ එරට ගෘහසේවිකාවක වශයෙන් සේවය කළ පනස් හතර හැවිරිදි ලාංකික කාන්තාවකි.

තමන් විවාහ කර ගන්නා ලෙසට ලාංකික ගෘහසේවිකාව දිගින් දිගටම බලපෑම් කිරීම නිසා ඇති වූ කෝපය මත සැකකාර ඊජීප්තු ජාතිකයා විසින් මෙම ඝාතන සිදු කර ඇතැයිද වාර්තාවේ.

සැකකාර ඊජිප්තු ජාතිකයා සහ ලාංකික ගෘහසේවිකාව එරට කයිරෝ අගනුවර පිහිටි විශ්‍රාමලත් පොලිස් නිලධාරීවරයෙකුගේ නිවසක සේවය කර ඇත.එහිදී ඇති වූ පෙම් සබඳතාවය මත මෙම ලාංකික කාන්තාව සහ සැකකරු විවාහ ගිවිස ගැනීමට අපේක්ෂාවෙන් සිට ඇති අතර නමුත් එම සම්බන්ධතාවයට සැකකාර ඊජීප්තු ජාතිකයාගේ පවුලේ ඥාතීන් විරුද්ධත්වයක් දක්වා ඇත.

සිය පවුලේ අයගේ විරෝධය මත එම සැකකරු විසින් සිය පෙම්වතිය වූ ලාංකික සේවිකාව විවාහ කර ගැනීම මඟ හරිමින් වෙනත් විවාහයක් කර ගැනීමට සැලසුම් කර තිබේ.පසුව ඒ පිළිබඳ කරුණු දැනගත් ලාංකික කත විසින් එම තරුණයාගේ සහෝදරයා හමුවී තමුන් සැකකරු නිසා ගැබ් ගෙන ඇති බවට චෝදනා නගා ඇති බවද ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත් වාර්තාවේ දැක්වේ.

ලාංකික පෙම්වතිය විසින් තමන් ගැන තම පවුලේ අය හමුවේ කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් කෝපාවිශ්ඨ වූ සැකකාර ඊජිප්තු ජාතික තරුණයා , තමන් ඇයව විවාහ කර ගන්නා බවත් ,එම විවාහය සිදු කිරීමට කයිරෝ හි ගීසා ප්‍රදේශයට  පැමිණෙන ලෙස එම කාන්තාවට දන්වා තිබේ.

ඒ අනුව එම ස්ථානයට පැමිණි ලාංකික කතට පිහියෙන් ඇණ ඝාතනය කිරීමට එම සැකකාර පෙම්වතා කටයුතු කර ඇති අතර ඉන්පසුව ඇයගේ සිරුරට ගිනි තැබීමටද සැකකරු උත්සාහ දරා ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
ඉන්පසුව ඔහු නීතීඥවරුන් මාර්ගයෙන් එරට අධිකරණය හමුවේ ඉදිරිපත් වී ඇති අතර පසුව ඝාතන කිරීමේ චෝදනා යටතේ සැකකරුව රිමාන්ඞ් බාරයට පත් කර ඇතැයිද එරට පළවන ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තාවේ සඳහන් වේ.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS