ලංකාවේ ශ්‍රම හිඟයට හේතුව ඇමැති චම්පික කියයි



ශ්‍රී ලංකාව තුළ දැඩි ශ්‍රම හිඟයක් නිර්මාණය වී ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

රැකියා වීසා පත්‍ර ඇතිව හෝ නැතිව මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් අමාත්‍ය රණවක මහතා දැනට මෙරට සිටින විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 200,000ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ද කීවේය.

මෙරට තුළ පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉතා ඉහළ බවත් එම නිසා රජය දැඩි ආගමන විගමන රෙගුලාසි සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක කීය.

“පිරිසුදු කිරීමේ එහෙමත් නැතිනම් අස්වනු නෙලීමේ කටයුතුවලටත් අපට ශ්‍රමිකයන් කම්කරුවන් හිඟ වී තිබෙනවා. එය සැලකිය යුතු ප්‍රශ්නයක්. ඒ නිසාම විදෙස් ශ්‍රමිකයන්ට වෙළෙඳපොළක් නිර්මාණය වෙලා. එසේ වුවත් අපි ඔවුන්ගේ පැමිණීම් සහ පිටත්වීම් නියාමනය කළ යුතු” යැයි ද අමාත්‍යවරයා තවදුරටත් කීවේය.

මේ අතරවරායේදී මෙරට වැඩබිම්වල රැකියාවේ නිරත වීම සඳහා විදේශිකයන් වෙනුවෙන් වැඩ බලපත්‍ර විශාල වශයෙන් ආයෝජන මණ්ඩලය වෙත පැමිණෙමින් තිබෙන බව වාර්තා වේ.

රැකියා වීසා මත පැමිණි 8,000කට ආසන්න පිරිසක් පසුගිය වසරේදී ඉල්ලුම්පත්‍ර යොමු කර ඇතැයි ද සංචාරක වීසා මත පැමිණි සැලකිය යුතු පිරිසක් ද එලෙස අයඳුම්පත්‍ර යොමු කර ඇතැයි ආයෝජන මණ්ඩලය සඳහන් කරයි. පසුගිය වසරේදී ඒ ආකාරයෙන් ඉදිරිපත් වූ වීසා 5,786කට ආයෝජන මණ්ඩලය අනුමැතිය දී ඇත.

සන්ඬේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන් කණ්ඩායමක් තමිල්නාඩු ශ්‍රමිකයන් 250කට ආසන්න පිරිසක් සේවය කරන වැඩබිමකට ගොස් කරන ලද අධ්‍යයනයක තොරතුරු මෙසේය.

රැකියා කොන්දේසි මත එම තමිල්නාඩු ශ්‍රමිකයන් සේවයේ යෙදෙන අතර ඊට දිනකට පැය 12ක වැඩමුරයක් ද ඇතුළත් වේ.

“අපි උදේ 7.30 ඉඳන් හවස 7.30 වෙනතෙක් සේවය කරනවා. අපට නැවතී සිටින තැන්වලට යන්න ප්‍රවාහන පහසුකම් ලැබෙනවා” යැයි එක් ඉන්දීය ශ්‍රමිකයෙක් පැවැසීය.

ඉන්දීය ශ්‍රමිකයකුට නවාතැන් පහසුකම් ද සහිතව රුපියල් 60,000කට (ඉන්දීය රුපියල් 25,253ක්) මුදලක වැටුපක් ගෙවන අතර ආහාර පාන ඔවුන් සපයාගත යුතුව ඇත. මෙම ඉන්දීය සේවකයන් පිරිස ඉරිදා දිනයද ඇතුළුව සතියේ දින හතේම සේවය කරන අතර කිසිදු නිවාඩුවක් නොලැබේ

“අපේ වැඩ අවසන් වෙලා අපේ කෑම අපිම හොයාගන්න ඕනේ. අපි අපේ කෑම ටික උයාගන්නවා. එහෙම නොවුණත් අපි හම්බ කරන සල්ලි ඔක්කොම කෑමවලට වියදම් වෙනවා. ලංකාවේ කෑම හරි ගණන්” යැයි තවත් ශ්‍රමිකයෙක් කීය.
ඉන්දීයාවේදී ඉදිකිරීම් සමාගම් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ලංකාවේ ඉදිකිරීම් සංගම් ගෙවන බව සඳහන් කළ එම තමිල්නාඩු ශ්‍රමික පිරිස එම මුදල සොයාගැනීම තම මුළු ජීවිතයම කැප කිරීමට සිදුව ඇතැයි පැවැසූහ. තමන්ට කිසිදු විවේක කාලයක් හෝ විනෝද කාලයක් නැතැයි ද ඔවුහු කීහ.

මේ දිනවල තිබෙන දැඩි රස්නය මෙන්ම ඉන්දීය සේවකයන් මුහුණ දෙන ප්‍රශ්නවලට තමන්ට ද මුහුණ දීමට සිදුවන බවත් ගාලුමුවදොර සහ ආර්.ඒ. ද මැල් මාවතේ වැඩිබිම්වල සේවය කරන චීන ඉදිකිරීම් ශ්‍රමිකයෝ පිරිසක් පැවැසූහ.

“ශ්‍රී ලංකාව ඉතා ලස්සන රටක්. එහෙත් ඉදිකිරීම් සේවකයන්ට ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒ වගේම ඉතා රස්නෙයි. අපි උදේ 8.30 ඉඳන් හවස 6.30 වෙනකන් වැඩ කරනවා. ඒ වගේම අපි ශ්‍රී ලාංකිකයන් සමඟ වැඩ කිරීමේදී සන්නිවේදන අර්බුදවලටත් මුහුණ දෙනවා. අපිට නිදහසක් නැහැ. විනෝද වෙන්න වෙලාවක් නැහැ. හැමතිස්සෙම වැඩ කරනවා. ” යැයි හූ යන්ග් ලෙස තමා හඳුන්වා දුන් චීන ඉදිකිරීම් ශ්‍රමිකයෙක් පැවැසීය.

හර්ෂණ තුෂාර සිල්වා

 


RECOMMEND POSTS