ලංකාව ගැන සෙයිද් කුමරුගේ වාර්තාව අද



ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් හුසේන් කුමරු විසින් සකස් කළ වාර්තාව අද  ( 22 වැනිදා)  ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරේ.

මෙවර සැසියේ දී මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් එය  ලිඛිතව ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, මානව හිමිකම්, යහපාලනය ආදිය සැලකිල්ලට ගැනීමේ දී ශ්‍රී ලංකාව මේ වන විට ලබා තිබෙන ප්‍රගතිය හා පවතින අඩුපාඩු එම වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කරනු ඇතැයි  එම මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය කියා සිටී.

පුරා මාසයකට ආසන්න කාලයක් පැවැති මෙවර 34 වැනි සැසිවාරය මේ සිකුරාදා (24 වැනිදා) අවසන් වේ. මෙම සැසිවාරයේදී  ශ්‍රි ලංකාව ,සුඩානය , ලිබියාව ,සිරියාව ඇතුළු  එක් එක් රටවල මානව හිමිකම් තත්ත්වය මෙන්ම එය ප්‍රවර්ධනය වෙනුවෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග, යුද ගැටුම්, ආර්ථික වර්ධනය ආදී වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසිවාරය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා කෙටුම්පත සඳහා ඊයේ (21) දින වන විටත් තවත් ප්‍රබල රටවල් 6ක සහයෝගය ලැබි ඇති බව, තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ඊශ්‍රායලය, ජපානය, හා නෝර්වේ රාජ්‍යය මෙසේ මෙම යෝජනා කෙටුම්පතට සහය පළකර ඇත.

“ශ්‍රී ලංකාවේ, ප්‍රතිසන්ධානය, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය” යන තේමාව යටතේ, ඉදිරිපත්ව ඇති මෙම යෝජනා කෙටුම්පතෙහි ප්‍රධාන අනුග්‍රාහක රාජ්‍යයන් වූයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, උතුරු අයර්ලන්තය හා මොන්ටිනිග්‍රෝ යන රටවල්ය.ශ්‍රී ලංකාව මෙම යෝජනාවලියට සම අනුග්‍රාහකත්ව ලබාදී ඇත.

පසුගිය ජගත් මානව හිමිකම් කවුන්සිල සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධව සම්මත වූ යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවට තවත් වසර 2ක කාලයක් ලබාදීම මෙම නව යෝජනා කෙටුම්පතෙහි ප්‍රධාන අරමුණකි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන හා වගවීමේ ක්‍රියාවලිය ඇගයීමකට ලක්කිරීමටත් මෙම යෝජනාවලිය හරහා ජගත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනා කර ඇත. එසේම, ඒ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක්, ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසියට ඉදිරිපත් කළ යුතු බවද මෙහි දැක්වේ.

මෙම රටවල් හතරෙහි සම අනුග්‍රාහකත්වයෙන් යුතුව සැකසූ නව යෝජනාව මානව හිමිකම් කවුන්සිලය මේදිනවල පැවැත්වෙන 34 වැනි මහ සභා සැසියේදී ඊට සහභාගීවී සිටින කවුන්සිලයේ සාමාජික රටවල් 47 අනුමැතිය ඉදිරිපත් කොට එය සම්මත කරවා ගනු ඇතැයි ද ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාලයේදී සිදුවුවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝන වීම් ආදී සිද්ධීන් වගවීම ක්‍රියාත්මක කිරීම, අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීම සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු ගණනාවක් ඇතුළත් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තවත් වසර දෙකක් කල් ලැබෙනු ඇතැයි මීට පෙර සඳහන් විණි.

නමුත් මෙම නව යෝජනා කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවට කල් ලබා දිය යුතු කාලය වසරක් දක්වා අඩු වී ඇත.

බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු එම නිර්දේශ ඇතුළත් යෝජනාව 2015 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කෙරුණු අතර එම යෝජනාවට අනුව අදාළ සිද්ධීන් ගැන සෙවීමට මිශ්‍ර අධීකරණ ක්‍රමයක්ද ඇති කල යුතු බැව් මානව හීමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු කියා සිටියේය.

 තිළිණි ද සිල්වා


RECOMMEND POSTS