රුපියල දිගටම පහළට



ශ්‍රී ලංකා රුපියල මේ සතියේ අඛණ්ඩව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය දා (20) තවදුරටත් අවප්‍රමාණය වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ශ්‍රී ලංකා රුපියල් අගය 168.63ක් දක්වා ඉහළ ගියේය. 

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන රුපියල පසුගිය දා (20) ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ පහළම අගය වාර්තා කළ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා (20) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 168.63ක් ලෙසත් ගැනුම් මිල 165.08ක් ලෙසත් සටහන්ව තිබිණි. 

බලපත්‍ර ලාභී වාණිජ බැංකු පසුගිය දා (20) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල එච්.එස්.බී.සී සහ කොමර්ෂල් යන බැංකුවල 171 සීමාව ඉක්මවා ගිය අතර මහජන බැංකුවේ 170.57ක් ලෙස සටහන් වී තිබිණි.

ඊට අමතරව ලංකා බැංකුව, එන්.ඩී.බී සහ එන්.එස්.බී බැංකුවල එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 169 සීමාව ඉක්මවා තිබිණි.

ශ්‍රී ලංකා රුපියල මේ මාසයේදී පමණක් සියයට 4කින් දුර්වල වී ඇතැයි මේ වසරේ මේ දක්වා කාලයේදී සියයට 9.2කින් අවප්‍රමාණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය පසුගිය දා (20) වාර්තා කර තිබිණි.

මහ බැංකුවේ දෛනික අනුපාත අනුව මේ සතිය ආරම්භයේදී එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 165.14ක් විය. මේ අනුව ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව පසුගිය දා (20) වනවිට රුපියල් 3.49කින් දුර්වල වී තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප්‍රමාණය වී තිබේ.
මේ වසර ආරම්භ වන විට එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 155.23ක් විය.

මෙරට දේශපාලනයේ තිබෙන අස්ථාවරත්වයට අමතරව විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ප්‍රතිපත්ති තීරණ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධය, තුර්කි මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමීමට ගන්නා ලද තීරණය ආදී ගෝලීය සාධක රැසක් රුපියල මේ ආකාරයෙන් අවප්‍රමාණය වීමට හේතු වී තිබේ.

ආසියානු කලාපය ඇතුළුව නැගී එන වෙළෙඳපොළවල මූල්‍ය ඒකක පසුගිය සමයේදී දිගින් දිගටම අවප්‍රමාණය වූ අතර ඉන් වැඩි බලපෑමකට ලක්වූයේ ඉන්දීය රුපියලයි. පසුගිය සති කිහිපයක කාලයේදී ඉන්දීය රුපියල වාර්තාගත අන්දමින් පහළ වැටිණි. කෙසේ නමුත් ඉන්දීය රජයේ මැදිහත් වීමත් සමඟ ඉන්දීය රුපියල තරමක ස්ථාවරත්වයක් පෙන්නුම් කරන ලදි. එම පියවර මධ්‍යයේ වුවද අඟහරුවාදා ඉන්දීය රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 72.99 ක් දක්වා ඉහළ ගියේය. මේ අනුව ශක්තිමත් වන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව කලාපයේ දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇත්තේ ඉන්දීය රුපියලයි.

දේශීය වාණිජ බැංකු වුවමනාව ඉක්වමින් එක්සත් ජනපද ඩොලර් එක්රැස් කිරීම නිසා පසුගිය දිනවල රුපියලේ අගය අනවශ්‍ය පරිදි අඩු වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘ලංකදීප’යට ඉකුත් දා පැවැසීය.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS