රැකියා දෙනවැයි වංචා කරලා



ජපානයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් වංචා කළ බව කියන කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ජපන් භාෂා ගුරුවරියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් කඩවත සූරියපාලුව ප්‍රදේශයේ  දී අත්අඩංගුවට ගනු ලැබීය.

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් පණහකට අධික ප්‍රමාණයකින් මුදල් ලබාගත්තද, එම රැකියා ලබානොදුන් බවට මෙම වංචාවට අසුවූ පුද්ගලයෙකු විසින් පසුගියදා කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත කළ පැමිණිල්ලක් අනුව කළ විමර්ෂනයකින්  පසු මෙම කාන්තාව අත් අඩංගුවට ගනු ලැබීය.

හතලිස් පස් හැවිරිදි සැකකාරිනිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇයගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත්‍ර අසූවක්, ජපානයේ රැකියා සඳහා රැකියා එකඟතා ගිවිසුම් විශාල ප්‍රමාණයක්, රැකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික, දිව්රුම් ප්‍රකාශද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. එසේම මෙහි තිබී ව්‍යාජ නිල මුද්‍රා දාහතරක්ද අත්අඩංගුවට ගත් අතර, ඒ අතර තිබී ජපන් නොතාරිස් මුද්‍රා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා දෙකක්ද හමුවූ බව කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම කාන්තාව එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ හැත්තෑනමයක මුදලක් බැගින් ජපාන රැකියා ලබාදෙන බව පවසා ලබාගෙන ඇති අතර එමගින් රුපියල් කෝටි හතරකට අධික මුදලක් වංචා කර ඇති බවට මේ වන විට පැමිණිලි ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙම රැකියා ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් අනතුරුව එයට හසුවූ පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කරමින් සිටින අතර, ඒ අනුව සැකකාරිය වංචාකළ මුළු මුදල රුපියල් කෝටි 10ට අධික විය හැකියැයි විමර්ශන නිළධාරීහු විශ්වාස කරති. 

සැකකාරිය මේ මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර මෙම ජාවාරමට සහය වූ එක් සැකකරුවෙකු විදේශ ගතවී ඇති බවත් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය පරීක්ෂණ මෙහෙයවන බවත් එම විමර්ශන ඒකකය කියයි.

අදාළ සැකකාරිණිය මෙම කාන්තාව ජපන් භාෂා විශේෂ උපාධියකට හිමිකාරිණියක වන අතර, මීට පෙර අධ්‍යාපන වීසා මත සිසුන් ජපානයට යොමුකර තිබේ. ඉන් අනතුරුව 2012 වර්ෂයේ සිට මෙම රැකියා ජාවාරම මෙහෙයවා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, මේ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශයට තොරතුරු ලබාදුන් හා මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු මෙහෙය වූ කාර්යාංශයේ සියළු නිළධාරීන්ට ස්තූතිවන්ත වන බවයි.

එසේම මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද අමාත්‍යතුමිය සඳහන් කළාය. මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේනම් කාර්යාංශයේ පැය 24 තොරතුරු සේවාවේ 009411-2879900, 009411-2879902, 009411-2879901 දුරකතන අංකයන්ට දැනුම් දෙන ලෙසත් අමාත්‍යතුමිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක නීතීඥ උපුල් දේශප්‍රිය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතීඥ කීර්ති මුතුකුමාරණ යන මහත්වරුන්ගේ මඟපෙන්වීම මත විමර්ශන ඒකකයේ කළමණාකරු ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ජී.වෙළගෙදර, නිති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී පොලිස් පරීක්ෂක එම්. ඒ. එස්. ජේ. අබේධීර, උප පොලිස් පරීක්ෂක මංජුල ජයවර්ධන, උප පොලිස් පරීක්ෂක ප්‍රදිප් කුමාර යන නිළධාරීන් හා කාර්යාංශ මාණ්ඩලික සහකාරිණි අසංකි හුළුගල්ල, රියදුරු එම්.ඒ. අජිත් අය එක්වූහ.  

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS