රැකියා දෙනවැයි වංචා කරලා



ඊශ්‍රායෙල් රාජ්‍යයේ රැකියා දෙන බව පවසා රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට අධික මුදලක්  වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් සමත්ව  ඇත.

ගම්පහ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා ආයතනයකින් ඊශ්‍රායෙල් රටේ රැකියා ලබා දෙන පවසා ගම්පහ ඇතුලු ප්‍රදේශ රැසක පදිංචි පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 20 දක්වා මුදලක් ලබාගෙන ඇති මෙම සැකකරු ආයතනය වසා දමා හිටි හැටියේ අතුරුදන්ව ඇති අතර ඒ පිළිබඳව ලැබුණු පැමිණිලි මත කළ පරික්ෂණයක දී ඔහු අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයා අතුරුදහන්ව ඇති බවට පැමිණිලි 24 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබු අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් දීර්ඝ කාලීන විමර්ශනයකින් මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ සැඟවී සිටියදී බලවත් වෙහෙසක් දරා අත් අඩංගුවට ගෙන ඇත. මේ වනවිට සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති අතර මේ පිලිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව කාර්යංශය කියයි.

මේ පිලිබඳ අදහස් දක්වමින් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කළේ මෙවැනි වංචාකරුවන්ට හසු නොවී නීත්‍යාණුකූල අයුරින් විදේශ රැකියා සඳහා යොමු වීමට කටයුතු කරන ලෙසය.  මෙවැනි වංචාකරුවන් පිලිබඳ තොරතුරු දන්නේ නම් වහාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ දුරකතන අංක වන 011-2880500  011-2864118 0112864150 දැනුම් දෙන ලෙසත් එවැනි වංචාකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවැසුවාය.

මෙම වැටලීම කාර්යාංශයේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ සහ, විශේෂ විමර්ශන ඒකකයේ කළමණාකරු පොලිස් අධිකාරී අර්ජුන මාහින්කන්ද මහතාගේ උපදෙස් පරිදි, පොලිස් පරීක්ෂක එම්.ඒ.එස්.ජේ අබේධීර, පොලිස් පරීක්ෂක ඩබ්.ඒ  බාලසූරිය, එස්.ජේ.පී රවීන්ද්‍ර සහ කාර්යංශ නිළධාරී  සමන්ත ප්‍රේමසිරි එක් වූහ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS