රටවල් 7 කින් එන අය පරීක්ෂාවට



ජාතික ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් සිරියාව, පාකිස්ථානය සහ නයිජීරියාව ඇතුලූ රටවල් 7 කින් ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට වීසා බලපත් නිකුත් කිරීමේදී විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ තීරණයකට අනුව මෙලෙස වීසා බලපත් නිකුත් කිරීමේදී පරීක්ෂා කෙරෙන අනෙකුත් රටවල් වන්නේ ඊජිප්තුව, අයිවරි - කෝස්ට්, ඝානාව සහ කැමරූන් රාජ්‍යයන් ද වන බව ආගමන විගමන පාලක  වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම රටවලින් ඉදිරිපත් වන වීසා අයදුම්පත්වලට ස්වයංක්‍රීය අනුමැතිය හිමි නොවන අතර, ඒවා විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමෙන් අනතුරුව වීසා නිකුත් කිරීමට පියවර ගැනෙනු ඇති.

මෙම රටවලින් පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමනිකයන් හා සරණාගතයන් සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවන බව සඳහන්.

ඉදිරියේදී ඇෆ්ගනිස්ථානය සහ උගන්ඩාව යන රටවලින් ඉදිරිපත් වන වීසා අයදුම්පත් පිළිබඳවද මෙලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින්  විශේෂ පරීක්ෂාවන් සිදුකිරීමට නියමිත බවද වාර්තාවේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS