රට රැකියා වලට ලාංකික වෘත්තීකයින් යෑමේ වර්ධනයක්



ඉකුත් වසරේ දී රට රැකියා සඳහා පිටත්ව ගිය වෘත්තිකයින්ගේ සංඛ්‍යාව සියයට 5.1 කින් ඉහළ ගොස් ඇති බව 2016 මහ බැංකු වාර්තාව සඳහන් කර සිටී.

මේ අතර පුහුණු ශ්‍රමික, අර්ධ පුහුණු ශ්‍රමික, නුපුහුණු ශ්‍රමික හා ගෘහ සේවිකා කාණ්ඩය යටතේ විදෙස් රැකියා සඳහා ගිය පිරිස සියයට 8.6 කින් පහළ ගොස් ඇති බව මෙම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.

2016 වසර තුළ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා ආ මුදල් සියයට 3.7 ක වර්ධනයක් වාර්තා වී තිබෙන අතර එම අගය ඇමරිකානු ඩොලර් මිලියන 7,242 ක් ලෙසින් සටහන් වේ.

විදේශ රැකියා පිටත්ව යන්නන්ගේ ශ්‍රම කාණ්ඩය අනුව සලකා බැලීමේ දී වෘත්තීය හා මධ්‍යම කාණ්ඩ යන අංශවල සමස්ත වර්ධනය සියයට 12.2 ක් ලෙස වාර්තා වූ අතර අනෙකු සියලූම ශ්‍රම කාණ්ඩවල පිටත්ව යෑම්වල පහළ යෑමක් 2016 වසරේ දී වාර්තා විය.

මේ අනුව විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 2015 වසරේ දී වාර්තා වූ 263,443 ට සාපේක්ෂව 2016 වසරේ දී 242,930 ක් දක්වා පහළ ගොස් තිබේ.

මෙම සමස්ත පහළ යෑම් කෙරෙහි ස්ත්‍රී කාණ්ඩයේ පිටත්ව යෑම් 2015 වසරේ වාර්තා වූ 90,655 සිට 2016 වසරේ 82,628 දක්වා සියයට 8.9 කින් පහළ යෑම මෙන්ම පුරුෂ කාණ්ඩයේ පිටත්ව යෑම් 2015 වසරේ වාර්තා වූ 172,788 සිට 2016 වසරේ 160,302 දක්වා සියයට 7.2 කින් පහළ යෑම ද හේතු වී තිබේ.

පසුගිය වසර තුළ දී දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ප්‍රමාණයේ සුළු වැඩිවීමක් වාර්තා වුවද එයින් සියයට 97 ක්ම නුපුහුණු ශ්‍රමික කාණ්ඩය යටතට වැටෙන බව 2016 මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS