රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය



‘බැල්ෆෝර් ප්‍රකාශනයට’ වසර සියයක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව පලස්තීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුව හා එක්ව පවත්වන ලද රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය ඉකුත් දා පැවැත්විණි. 

ප්‍රථම ස්ථාන වෙනුවෙන් පිරිනැමූ පදක්කම් පලස්තීනයට සහාය පළ කිරීමට ගෞරවයක් ලෙසින් ලද හිටපු අමාත්‍ය ඒ.එච්.එම් අස්වර්, පලස්තීනයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ආචාර්ය ටී. ජයසිංහ හා මාධ්‍යවේදී හමීඞ් අබ්දුල් කරීම් යන මහත්වරුන්ගේ නම්වලින් නම් කර තිබිණි.

 “වසර සියයකට පසු බැල්ෆෝර් ප්‍රකාශය: පලස්තීනයේ යුක්තිය සඳහා වූ ගමන් මග” යන තේමාව යටතේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් රචනා තරගය පැවැත්විණි.

ඉංග්‍රිසි මාධ්‍ය ප්‍රථම ස්ථානය ද හලා මරික්කාර් ද, සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය අනුර රෝහිත විජේකෝන් ද දෙමළ මාධ්‍ය ප්‍රථම ස්ථානය එෆ්.ටී මුහම්මද් අසීම් යන අය දිනාගත්හ.

ඉංග්‍රීසි මාධ්‍ය දෙවැනි ස්ථානය චිරන්ති සේනානායක දිනාගත් අතර තෙවැනි ස්ථානය ෂරීකා හවීස් ට හිමිවිය. සිංහල මාධ්‍ය දෙවැනි ස්ථානය පූර්ණිමා මධුෂානි කුලවංශටත් තෙවැනි ස්ථානය අබ්දුල් අසීස් මොහොම්මදු නෆීල්ටත් හිමි වූ අතර දෙමළ මාධ්‍ය දෙවැනි ස්ථානය එම්.ආර්.එම් ඉන්ෆාස්ටත් තෙවැනි ස්ථානය එම්.එස්. අමීන් හුසේන්ටත් හිමිවිය.

පාසල් සිසුන් ද ඇතුළුව භාෂා ත්‍රිත්වයෙන්ම රචනා 180කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබූ බව ද සංවිධායක මණ්ඩලය සඳහන් කළහ.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, පළාත් සහා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු බිමල් රත්නායක, පලස්තීන තානාපති සුහයිර් දාර් සාහිද්, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, හිටපු අමාත්‍ය ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ඉම්තියාස් බාකීර් මාකර් මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS