යේමනයේ ශ්‍රී ලාංකික නැවියන් බේරා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු



( තිළිණි ද සිල්වා )

මාස දෙකක් තිස්සේ යේමනයේ හවුති සටන්කාමීන්ගේ අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකික නැවියන් නම දෙනා මුදා ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් වන අදාල පියවර ගැනීමේ කටයුතු   ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ඩුබායි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාල හරහා සිදු කෙරෙමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී.

සටන්කාමීන් ගේ ග‍්‍රහණයේ සිටින  එම ලාංකික නැවියන් නමදෙනා ගේ පවුලේ උදවිය විසින් මොවුන්ව බේරා දෙන ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණිලි කිරීමෙන් පසුවන ඔවුන් ගැන සොයා බැලීමේ කටයුතු මෙම තානාපති කාර්යාලය හා කොන්සියුල්ර කාර්යාලය හරහා සිදු කෙරෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

එම නැවියන් නම දෙනා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනීමට එම තානාපති කාර්යාල වලට හැකි වී තිබෙන අතර ඔවුන් මේවන විටත් ඉතාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැව් දන්වා තිබෙන බව එම අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

 

යේමනය හා සෞදි අරාබිය අතර දේශ සීමා වලට මායිම්ව පිහිටි අල් හුඩෙයිඩා වරායේ නැංගුරම් ලා තිබෙන ග‍්‍රීසියේ නැව් සමාගමකට අයත් ෆෙයාර් අපලෝන් නැමැති වෙළඳ නෞකාව මීට මාස දෙකකට පෙරදී යේමනයේ හවුති සටන්කාමීන්ගේ ප‍්‍රාණ ඇපයට පත් විණී.

ශ්‍රී ලංකික නැවියන් 9 දෙනෙකු  ඇතුළු විසි හය දෙනෙකු ගෙන් යුතු එම නැව් කාර්ය මණ්ඩලය සහ අදාළ නෞකාව මුදා හැරීමට නම් ඩොලර් මිලියන ගණනක මුදලක් එම සටන්කාමීන් විසින් නැව අයිති සමාගමෙන් ඉල්ලා ඇතැයි ද තානාපති ආරංචි මාර්ග පවසයි.නමුත් සටන්කාමීන් ඉල්ලා සිටින එම මුදල නොගවා සටන්කාමීන්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට ඩුබායි හි පිහිටි නැව අයිති සමාගම කටයුතු කරමින් සිටින බැව් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට දැන ගන්නට ලැබී ඇතැයි වාර්තාවේ.

එසේම යේමන සටන්කාමීන් ගේ අත්අඩංගුවේ සිටින නැවේ සියලූ කාර්ය මණ්ඩලය මුදා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින එම නැව අයිති සමාගමේ බලධාරීන් ,විසින් ඔවුන්ගේ ශ්‍රී ලංකා නියෝජතියින් කැඳවා සටන්කාමීන්ගේ ග‍්‍රහණයේ සිටින ශ්‍රී ලාංකික නැවියන් මුදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයිද තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.


RECOMMEND POSTS