යුනිසෙෆ් සංවිධානයෙන් උපදෙස් මාලාවක්



පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පීඩාවට සහ කම්පනයට පත්වූ දරුවන් ඉන් මුදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් විශේෂ උපදෙස් මාලාවක්  ප්‍රකාශයට පත්කරනු ලැබ තිබේ

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (යුනිසෙෆ්) දකුණු ආසියානු අංශයේ අවසරය ඇතිව “කම්පනයකින් ව්‍යවසනයකින්  සහ මරණයකින් පසු දරුවන් සුරැකීම: දෙමාපියන් සහ වෘත්තිකයන් සඳහා උපදෙස්” ඇසුරෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් එම උපදෙස් මාලාව සකස් කරනු ලැබ ඇත. 

කම්පනයට පත්වන සිදුවීම් දරුවන් වටහාගන්නේ ඔවුන්ටම ආවේණික වේගයකින් බැවින් එක් දරුවකු දක්වන ප්‍රතිචාර මත වෙනත් දරුවකු ගැන තීරණ නොගන්නැයි ද එක්සත් ජාතීන්ගේ ළමාඅරමුදල මාපියන්ගෙන් ඉල්ලා සිටී. 

මෙවැනි සිදුවීම් නිසා දරුවන් කලබල විය හැකි බැවින් ඉවසීමෙන් හා සංවේදීව කටයුතු කරන්නැයි ද දරුවන්ට ඔවුන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්නැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලනිකුත් කළ උපදෙස් මාලාවේ දැක්වේ.

දරුවන් සමඟ කතාබහ කිරීමට සන්සුන් තැනක් සොයාගන්නා ලෙසත් ඔවුන් අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන ලෙසත් දරුවන්ට සිදුවීම් සම්බන්ධයෙන් අවංක සහ සෘජු තොරතුරු දෙන්නැයි ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කොළඹ කාර්යාලය ඉල්ලා සිටී.

දරුවන් ආරක්ෂාකාරීව හොඳින් රැකබලාගන්නා බව ඔවුන්ට යළි යළිත් සහතික වන්නැයි ද එම අරමුදල ඉල්ලා සිටී.

ව්‍යවසනකාරී සිදුවීමකින් පසුව යථා තත්ත්වයට පත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කොළඹ කාර්යාලය මාපියන් සඳහා උපදෙස් මාලාවක් ප්‍රකාශයට පත්කර ඇත. 

මේ අතර ඉකුත් ඉරිදා (21) කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ත්‍රිත්වයකට, දේවස්ථාන ත්‍රිත්වයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් දරුවන් 45 දෙනකු මියගොස් තවත් දරුවන් පිරිසක් තුවාල ලැබූ බව ද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ කොළඹ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS