මෝටර් රථ ප්‍රවහන දෙපාර්තමේන්තුවට ඩිජිටල්කරණයට



මෝටර් රථ ප්‍රවහන දෙපාර්තමේන්තුව ජනතා හිතවාදී සේවා සපයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් නව තාක්ෂණය භාවිත කරමින් ලබාදෙන සේවා උසස් කිරීමටත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන ඇත.

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ වැඩසටහනේ එකමුතුවක් ලෙස ආරම්භ කෙරුණු සිට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණායතනය මේ සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිටී.

මේ අනුව මානව කේන්ද්‍රීය සැලසුම්කරණය කෙරෙහි අවධානය යොමු කරමින් පස් අවුරුදු පරිවර්තන මාර්ග සිතියමක් ගොඩනැගීමට සැලසුම් සකස් කරමින් සිටින අතර ජනතා හිතවාදී මෙන්ම නව තාක්ෂණය භාවිත කෙරෙන ඩිජිටල් ආයතනයක් ලෙස මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රතිනිර්මාණය කිරීමට ද සිට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණායතනය ඔවුන්ගේ විශේෂඥ සහාය ලබාදීමට එකඟත්වය පළ කර ඇත.

මෙම නව සැලසුමේ පළමු පියවර ලෙස දෙපාර්තමේන්තුවේ මූලික කණ්ඩායමක් වෙනුවෙන් වැඩමුළුවක් ඉකුත් දා පැවැත්විණි.

මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන්, සිට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණායතනයේ සම සභාපති සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත රොබට් ජූහ්කම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS