මුදල් වංචා කරලා අත්අඩංගුවේ



ඉතාලියේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, වනාතවිල්ලුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. 

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට අනුරාධපුර හා කුරුණෑගල යන ප්‍රදේශවල පුද්ගලයින් කාර්යාංශයට සිදුකරන ලද පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් කළ වැටලීමක දී මෙම කාන්තාව අත්අඩංගුවට  ගත් බව කාර්යංශය කියයි.

ඉතාලි රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 7 සිට ලක්ෂ 15 දක්වා පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචාකර ඇති බව මුලික විමර්ශනවලදී හෙලි  වී යැයි හෙතෙම සඳහන් කළේය.

රැකියා  ලබා ගැනීම සඳහා මීට පෙර මුදල් ලබාදුන් පුද්ගලයින් විසින් ඇයගේ නිවස ඉදිරිපිට විරෝධතාවක්ද පළකර ඇතැයි වාර්තාවන බව ද ඔහු කියා සිටියේය.  

ඒ අනුව විමර්ශන නිළධාරීන් ඇයගේ නිවස වටලන ලද අතර, ඒ වන විට ඇය නිවසෙන් පලාගොස් සැඟවී සිට ඇති බවත් ඇයගේ නිවස පරික්ෂා කිරීමේදී මුදල් ලබාදුන් පුද්ගලයින්ගේ උප්පැන්න සහතික ඡායා පිටපත්, ගුවන් ගමන් බලපත්‍රවල පිටපත් හා අනෙකුත් ලේඛන රැසක් විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇති බවත් කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 

මෙම සැකකාරියට විරුද්ධව දික්වැල්ල පොලිසියටද පැමිණිලි ඉදිරිපත්ව ඇති බවත් මිරිහාන පොලිසිය වරෙන්තුවක්ද නිකුත් කර ඇති බවත් කී එම නිලධාරියා එයට අමතරව කුරුණෑගල, ගලෙන්බිදුණුවැව, පුත්තලම, මීරිගම, ගම්පහ, පොළොන්නරුව යන පොලිසිවලටද පැමිණිලි ඉදිරිපත්ව ඇතැයි වාර්තාවන  බව ද ප්‍රකාශ කළේය.

සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, මැයි මස 21 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවත්  අත්අඩංගුවට ගත් ලිපිලේඛන මේවන විට අධිකරණ භාරයේ පවතින බවත් කී එම නිලධාරියා  කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙහි වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බවද සඳහන් කළේය.  

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික කටයුතු) චේකා ප්‍රේමසිරි මහත්මිය හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) කීර්ති මුතුකුමාරණ මහතාගේ උපදෙස් පරිදි, කළමණාකරු (විශේෂ විමර්ශන ඒකකය) ප්‍රධාන පොලිස් පරික්ෂක සී.ජී.වෙලගෙදර මහතාගේ අධික්ෂණය මත පොලිස් පරික්ෂක අබේධීර, උප පොලිස් පරික්ෂක මංජුල ජයවර්ධන, උප පොලිස් පරික්ෂක හසින්තක ලියනගේ, කාර්යාංශ නිළධාරී කිත්සිරි යන නිළධාරීන් එක්වූහ.  

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS