මින්පසු මැදිහත්වීමක් නෑ



නීති විරෝධීව විදෙස් රටවල රැඳී සිටිමින් රැකියා කරන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉදිරියේ දී කිසිදු මැදිහත් වීමක් සිදුනොකිරීමට විදේශ රැකියා අමාත්‍යංශය තිරණය කොට ඇත.

නීති විරොධීව රැඳීසිටින පිරිසෙන් වැඩි ප්‍රමාණයක් දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය හා මැදපෙරදිග රටවල රැකියාවන් හි නිරතව සිටින බව විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ රැකියා අමාත්‍යංශය එක්ව කළ සොයා බැලීමක දී හෙළිව තිබේ.

මැදපෙරදිග ඇතුලු වෙනත් රටවල්වල ලක්‍ෂ 15ක පමණ පිරිසක් සේවය කරන බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දත්ත පෙන්වා දෙයි.

තානාපති කාර්යාල මඟින් ලැබෙන වාර්තාවලට අනුව සැලකිය යුතු ශ්‍රී ලාංකීකයින් පිරිසක් කාර්යාංශයේ පූර්ව ලියාපදිංචියකින් තොරව විදෙස්ගතව සේවය කරන බවට කරුණු හෙලි වී ඇති අතර  මෙසේ කාර්යාංශයේ වලංගු ලියාපදිංචියක් නොමැති ශ්‍රමිකයින් හට කාර්යාංශය මඟින් කිසිදු සුබසාධන සහනයක් හිමි නොවෙන බව කාර්යංශය කියයි.

තම කොන්ත්‍රාත් කාලය අවසන්වීමට පෙර අදාල රටේ ශ්‍රී ලාංකීක තානාපති කාර්යාලය මඟින් කාර්යාංශයේ ලියාපදිංචිය අළුත් කරගත හැකි අතර, ඒසේ ලියාපදිංචි නොවී විදෙස්ගතව, සේවා ස්ථානවලින් පැන සේවය කරන්නන් පිළිබඳව ඉදිරියේ දී කිසිදු මැදිහත්වීමක් කාර්යාංශයෙන් සිදු නොකරන බවට කාර්යංශය අවධාරණය කරයි.

විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මෙම ශ්‍රමිකයින් පිළිබඳව ලැබෙන පැමිණිලි සලකා බැලීමේ දී සැලකිය යුතු ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් පිරිසක් තම වලංගු විසා කාල සීමාව ඉකුත්වීමෙන් හෝ තම නීත්‍යානුකූල සේවා ස්ථානයෙන් පැන ගොස් නීති විරෝධි ලෙස සේවය කරන බවට කරුණු වාර්තා වී ඇත.

මෙසේ නීත්‍යානුකූල නොවන අයුරින් සේවයේ යෙදී සිටීම අදාල රටවල නීති රීති උල්ලංඝනය කිරීමක් වන අතර එය දඩ මුදල් ගෙවීම සහ සිරගත කිරීමට හේතුවන වරදක් බවත් ඔවුන් වෙනුවෙන් කිසිදු මැදිහත් වීමක් නොකිරීමට තීරණය කළ බවත් අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තළතා අතුකෝරල මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

දකුණු කොරියාව, ඊශ්‍රායලය, සයිප්‍රසය යනාදී රටවල මෙසේ නීතිවිරෝධිව රැඳී සිටින ශ්‍රමිකයින් විවිධ නීතිවිරෝධි ක්‍රියාවල යෙදී සිටීම හා විශේෂයෙන්ම විවිධ අනතුරුවලට භාජනය වීම නිසා රෝහල් ගත කල අවස්ථා ගණනාවක් කාර්යාංශයට වාර්තා වී ඇතැයි ද අමාත්‍යවරිය කීවාය.

උදාහරණයක් ලෙස දකුණු කොරියාවේ නීතිවිරෝධිව රැඳී සිට සේවය කරන ලද පුද්ගලයෙකු හදිසි අසනීපයක් මත රෝහල් ගතකීරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර ඔහුගේ දේහය  ලංකාවට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 120කට  අධික මුදලක් අදාල රෝහලට ගෙවීමට සිදු වී ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් මෙවැනි නීතිවිරෝධිව සේවය කරමින් සිට සිරගතවීමක දී, රෝහල් ගතවීමකදී හෝ මියගොස් ඇති විටකදී දැරීමට සිදුවන වියදම් පිළිබඳ වගකීමක් භාර නොගන්නා බවත් අතුකෝරල මහත්මිය වැඩිදුරටත්  පැවැසුවාය.

තම ඥාතීයෙකු හෝ හිතවතෙකු  මෙසේ විදේශගත වී නීති විරෝධිව සේවය කරන්නේ නම් ඔහු හෝ ඇය මේ සම්බන්ධව දැනුවත් කරන ලෙසත්, තම වලංගු වීසා කාලය අවසන් වීමෙන් පසුව තවදුරටත් සේවය කිරීමට අවශ්‍ය නම් එය නීත්‍යානුකූලව සිදු කරගන්නා ලෙසට ඔවුන් දැනුවත් කරන ලෙසත් ඇය ජනතාව ගෙන් ඉල්ලා සිටියාය.

මෙසේ නීතිවිරෝධිව සේවය කරන ශ්‍රමිකයින් නිසා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති විශාල තරුණ තරුණියන් පිරිසකට මෙමගින් වටිනා රැකියා අවස්ථා නැති වී යන අතර එය ඔවුන් විසින් එම විදේශ රැකියා අපේක්ෂකයින්ට කරනු ලබන බරපතල ද්‍රෝහිකමක් ලෙස සදහන් කල හැකි අතර එය රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන සමීප සබඳතා පලුදුවීමට ද ඉවහල් වන බව තානාපති කාර්යාලවලින් ලැබෙන වාර්තා පෙන්වා දී ඇත.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS