මැදපෙරදිග සංචාරකයන් අඩුවෙලා



ඉකුත් මාර්තු මාසෙය්දී මැද පෙරදිගින් ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව සියයට 26.6 කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටී.

එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වලට අනුව මැදෙපරදිගින් පැමිණි විදෙස් සංචාරකයින් ගණන 3520 කි.ඒය ඉකුත් වසරේ පැමිණි සංචාරකයින් ගණන වන 4793 හා සැසදීමේ අඩු වර්ධනයක් බව සඳහන් වේ.

මාර්තු මාසෙය්දී සෞදි අරාබියෙන් 997 ක්ද , ලෙබනනයෙන් 561 ක්ද ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 420 ක්ද , ජෝර්දානයෙන් 299 ක් ද, ඊජිප්තුවෙන් 278 ක්ද ,ඕමානයෙන් 268 ක්ද , කුවේටයෙන් 240 ක් ද ,බහරේනයෙන්  195 ක්ද ,කටාර් වලින් 63 ක් සහ ඉරාකයෙන් 41 ක් වශයෙන්  සංචාරකයින් පැමිණ ඇත.

මීට අමතරව මේ වසරේ මුල් මාස තුනේදී පමණක් විදෙස් සංචාරකයින් හාරලක්ෂ හැත්තෑ හතරදහස් පන්සිය හතළිස් දෙදෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එය ඉකුත් වසරේ මුල් මාස තුනේ පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසැඳීමේදී සියයට 13.8 ක වර්ධනයක් යැයි එම අධිකාරිය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තා වල සඳහන් වේ.

මේ අතර පසුගිය මාර්තු මස මුලදී මහනුවර ප‍්‍රදේශයේ වාර්ගික ගැටුම් පැවතිද එම මාසය තුළඳී සංචාරකයින් 233,382ක් පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයේ පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 24.1 ක වර්ධනයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ වාර්තා වල සඳහන් වේ.

ඒ අනුව ජනවාරි මාසයේදී පමණක් විදෙස් සංචාරකයින් 238,924 ක්ද ,පෙබරවාරී මාසය තුළ දි සංචාරකයින් 235,618 ක්ද හා මාර්තු මාසයේදී සංචාරකයින් 233,382 දෙනෙකුද වශයෙන් ගතවූ මාස තුනේදී විදේශිකයින් මෙරටට පැමිණ ඇතැයි සඳහන් වේ.

2018 වසර සඳහා සාර්ථක ආරම්භයක් ලබා දෙමින් ඉකුත් ජනවාරි මාසය තුළ මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩි ප‍්‍රමාණයක් ඉන්දියානුවන් වන අතර එම සංඛ්‍යාව 43,643 කි. මෙය ගිය වසරේ ජනවාරි මාසය හා සැසඳීමේ දී 40% ක තරම් විශාල වර්ධනයකි. මේ අතර චීන ජාතකයින් 24,819 ක් පැමිණ ඇති අතර එම පැමිණීම පසුගිය ජනවාරි මාසයේදී සියයට 22 කින් පහළ ගොස් ඇතැයි ද සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දේ.

ජනවාරි මාසයේදී තෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ජර්මනියෙන් වන අතර එලෙස පැමිණි සංඛ්‍යාව 14,985 කි. එය 2017 ජනවාරි මාසයේදී පැමිණි ජර්මන් සංචාරකයින්ගේ සංඛ්‍යාවට වඩා සියයට 20 ක වැඩිවීමකි.මීට අමතරව ප‍්‍රංශ සංචාරකයින් 12,209 ක්ද , රුසියානු සංචාරකයින් 11,634 ක්ද , ඕස්ටේ‍්‍රලියාවෙන් 9948 ක්ද , ඇමෙරිකාවෙන් 7277 ක්ද , යුක්රේනයෙන් 6544 ක්ද , මාලදිවයිනෙන් 6194 ක් ලෙසින් සංචාරකයින් ඉකුත් ජනවාරි මාසයේදී දිවයිනට පැමිණ තිබේ.

ඉකුත් පෙබරවාරි මාසයතුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ.ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බි‍්‍රතාන්‍ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.

මාර්තු මාසයේදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 30 ,583 ක් වේ.බි‍්‍රතාන්‍යයෙන් සංචාරකයින් 30 ,366 ක්ද , ජර්මනියෙන් 24 ,423 ක්ද , චීනයෙන් 21,101 ක්ද , ප‍්‍රංශයෙන් 14,818 ක්ද , ඇමෙරිකාවෙන් 9701 ක්ද ,රුසියාවෙන් 9089 ක්ද , ඕස්ටේ‍්‍රලියාවෙන් 8932 ක්ද ,මාලදිවයිනෙන් 7239 ක් සහ කැනඩාවෙන් 5113 ක් වශයෙන් සංචාරකයින් පැමිණ ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS