මැද පෙරදිගදී මියගිය ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් ලක්ෂ 720ක්




මැද පෙරදිග රටවල සේවය කරමින් සිටියදී  මියගිය ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 39 දෙනෙකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙත රුපියල් ලක්ෂ 720 ක මුදලක් අද (20) වන්දි වශයෙන් ප‍්‍රදානය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 

සෞදි අරාබියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, කුවේට්, ඕමානය, ලෙබනනය, ජෝර්දානය යන රටවල සේවය කරමින් සිටිය දී මියගිය ශ‍්‍රී ලාංකිකයන් වෙනුවෙන් මෙම  වන්දි මුදල් ප‍්‍රදානය කළ බව එම අමාත්‍යාංශය පවසයි. එලෙස විදේශයන්හි දී මියගිය සහ ආබාධිත තත්ත්වයට පත් ශ‍්‍රී ලාංකිකයන්ගේ පවුල්වල ඥාතීන් වෙත වන්දි මුදල් ප‍්‍රදානය කිරීම විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ විදේශ කටයුතු අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.

මෙවැනි වන්දි ප‍්‍රදානයක් මේ වසරේ සිදුකළ පස්වැනි අවස්ථාව යැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ අවස්ථා පහක දී විදේශයන්හි සේවය කරමින් සිටින අතරතුර මියගිය 196 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3,450ක මුදලක් පිරිනමා තිබේ. එසේම ගෙවුණු වසර පහක කාලය තුළ වන්දි වශයෙන් පිරිනමන ලද ඉහළම මුදල මෙවර ප‍්‍රදානය කර තිබෙන බවද එම අමාත්‍යාංශය කියා සිටී.

 

තිළිණි ද සිල්වා 


RECOMMEND POSTS