මාස අටේ දී සංචාරකයින් දාහතර ලක්ෂයක්



මේ වසරේ මුල් මාස 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදේශිකයින් ගණන දාහතර ලක්ෂ හයදහස් අටසිය පනස් හතරක් වන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නවතම වාර්තාවක් මගින් ප්‍රකාශ කර සිටී.

මෙය ඉකුත් වසරේ මුල් මාස අටේදී මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන වූ දහ තුන් ලක්ෂ  පනස්නමදහස් නමසියක් හය හා සැසඳීමේ දී සියයට 3.5 ක වර්ධනයක යැයි එම අධිකාරිය කියා සිටී.

මේ අතර අගෝස්තු මාසය තුළ දී පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 190,928 ක් වන අතර එය 2016 වසරේ අගෝස්තු මාසයේ පැමිණ ඇති සංචාරකයින් ගණන වූ 186,288 සමග සැසඳීමේ දී සියයට 2.5 ක ඉහළ යාමකි.

වසරේ මුල් මාස 08 තුළ මෙරටට පැමිණි සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම ප්‍රමාණය 233,120 කි. එම ලැයිස්තුවේ දෙවැනියට චීනය (190,992) හා එක්සත් රාජධානිය (141,378) වේ.මැදපෙරදිගින් සංචාරකයින් පැමිණ ඇත්තේ 69,859 ක් පමණකි.එය ඉකුත් වසරේදී පැමිණී සංඛ්‍යාව හා සැසදීමේදී සියයට 8.5 ක අඩුවීමකි.

වසර ආරම්භයේ දී ලක්ෂ 25 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි බලධාරීන් විසින් ඇස්තමේන්තු ගත කර ඇති අතර එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට නම් තවත් ලක්ෂ 11 ක සංචාරකයින් පිරිසක් වසරේ ඉතිරි මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS