මානව හිමිකම් යෝජනාවේ ඉලක්ක සපුරා ගන්න ඇමෙරිකාවේ සහාය



 
ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ ද සම අනුග්‍රහය ඇතිව 2015 වසරේදී එම කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාවේ අරමුණු හා ඉලක්ක සපුරාගනු ඇතැයි ඇමෙරිකාව බලාපොරාත්තු වන කොළඹ ඇමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ප්‍රකාශ කළාය.
 
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා එම යෝජනාව ඉදිරිපත් කරන ලදි.
 
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවත් ශ්‍රී ලංකාව අදාළ යෝජනාව ඇතුළත් නිර්දේශ, අරමුණු සහ ඉලක්ක සපුරාගැනීමට කටයුතු කරනු ඇතැයි පැවැසූ මෙරට ඇමෙරිකානු තානාපතිවරයා ශ්‍රී ලංකාව මෙතෙක් පෙන්වා ඇති ප්‍රගතිය ප්‍රමාණවත් නැතැයි ද කීවාය.
 
අධ්‍යාපනික සහ ඉංග්‍රීසි භාෂා පාඨමාලා ඇතුළු විවිධ වැඩසටහන් සහ වැඩමුළුවලින් සමන්විත ‘ඇමෙරිකානු පියස’ තෙවැනි ශාඛාව මාතරදී විවෘත කිරීමේ අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය එම කරුණු අඟහරුවාදා (26) පස්වරුවේ සඳහන් කළාය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මෙරට එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා බී. ටෙල්පිට්ස් මහත්මිය මෙසේ ද සඳහන් කළාය.
“ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුණා. එහෙත් ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කරන ලද යෝජනාව තවමත් තිබෙනවා. ඇමෙරිකාව කවුන්සිලයෙන් ඉවත් වුවත් ශ්‍රී ලංකාව එම යෝජනාව ඇතුළත් කරුණුවලට අනුකූලව වැඩ කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව එම යෝජනාව අඩංගු ඉලක්ක සපුරාගනු ඇතැයි ඇමෙරිකාව බලාපොරොත්තු වෙනවා. එම ඉලක්ක සපුරාගැනීම සඳහා ඇමෙරිකාව ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය දෙනවා.
 
සාමය, සංහිඳියාව, සත්‍ය සෙවීම, වගවීම, ප්‍රතිසන්ධානය ඇතුළු කරුණු රැසක් එම යෝජනාව අඩංගු වෙනවා. එම ඉලක්ක සපුරාගැනීමේදී ඇමෙරිකාව ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකාවේ ජනතාව, සිවිල් සංවිධාන ඇතුළු සෑම පාර්ශවයක් සමඟම කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව එකිනෙකා හඳුනාගැනීම ඉතාම වැදගත්. අපි ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් දිරිගන්වනවා. ශ්‍රී ලංකා රජය එම ඉලක්ක ඉටු කරගැනීමට කැප වී සිටිනවා. අවසානයේදී වැදගත් වෙන්නේ එම ඉලක්ක සපුරාගැනීමයි. ඒ තුළින් ශ්‍රී ලංකාවට සාමය සහ සෞභාග්‍යය උදා කරගන්න පුළුවන්. එම යෝජනාවේ ඉලක්ක ඉටු කරගැනීමේදී ශ්‍රී ලංකාව මෙතෙක් පෙන්වා ඇති ප්‍රගතිය ඉතාම මන්දගාමී. ජනතාව බලාපොරොත්තු වුණාට වඩා සෙමින් තමයි ඒ දේවල් වෙන්නේ. ඉදිරියේදී මේ දේවල් කඩිනමින් වනු ඇතැයි අපි බලාපොරාත්තු වෙනවා. සෙමින් වුවත් ඒ දේවල් සිදුවීම ඉතාම වැදගත්. ඒ වගේම ඉතාම හොඳයි. ශ්‍රී ලංකාවට සාමය සහ සෞභාග්‍ය ඇති අනාගතයක් තිබෙනවා” යැයි වැඩිදුරටත් සඳහන් කළාය.
 
එවකට විදේශ කටයුතු අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා 2015 විසින් වසරේ සැප්තැම්බර් 20 වැනි දින මානව හිමිකම් කවුන්සිලයට එම යෝජනාව ඉදිරිපත් කරන ලදි.
 
හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි

RECOMMEND POSTS