මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහ සභා සැසිවාරය ඇරැඹේ



ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහ සභා සැසිවාරය මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (25) ස්විට්ස්ර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කෙරේ.

එම කවුන්සිලයේදී 2015 වසරේ සම්මත වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය ,වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය  සම්බන්ධයෙන් වන යෝජනාවේ ප්‍රගතිය ගැන මානව හිමිකම් පිළිබඳ  එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය විසින් සැකසූ සම්පූර්ණ ලිඛිත වාර්තාව කවුන්සිලය හමුවේ සභාගත කිරීම මෙවර සැසියේ සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග සඳහන් කර සීටී.

එම වාර්තාව ලබන මාර්තු 20 වැනිදා දහවල් 12.00 මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කෙරෙනු ඇතැයිද , ඉන්පසුව ඒ සම්බන්ධයෙන් පැය තුනකට ආසන්න කාලයක් විවාදයක් පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

මේ අතර ජිනිවාහීදී අද ඇරඹෙන එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි වාර්ෂික සැසිවාරයට ශ්‍රී ලංකාව පිළිබඳ තවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සැලසුම් කරමින් සිටින බව තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන මෙම නව යෝජනාව හුදෙක් 2015 වසරේ සම්මත වූ යෝජනාවේ ඇතුළත් වගකීම් ක්‍රියාවට නැංවීම අවධාරණය කිරීම පමණක් ඉදිරිපත් කරන බවත් , ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද බි්‍රතාන්‍ය රජය කටයුතු කරමින් සිටින බවද ජිනීවා තානාපති ආංරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකාවේ  ප්‍රතිසන්ධානය ,වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්ව ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද එක්සත් රාජධානිය ඇතුළු  එම රටවල් මුල් විණි.

ශ්‍රී ලංකාවට අමතරව ඉරානය , වෙනිසියුලාව , හොන්ඩුරාස් , ගෞතමාලාව , සයිප්‍රස් , කොළොම්බියාව ,ඇෆ්ඝනිස්ථානය යන රටවල් හි මානව හිමිකම් තත්ත්වය ගැන මෙවර ජිනීවා සැසියේ ඉහළ පෙළේ සාකච්ඡා වලට ගැනීමට නියමිතය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසියට සහභාගී වන විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලත් දූත කණ්ඩායම සම්බන්ධයෙන් ඊයේ (24) වනතුරුත් අවසන් තීරණයකට පැමිණ නැතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ

මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහ සභා ලබන 22 වැනිදා තෙක් පැවැත්වෙන හෙයින්  ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඊට සහභාගී වනු ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

(තිළිණි ද සිල්වා)

 


RECOMMEND POSTS