මරණ දණ්ඩනය ගැන කනස්සල්ලෙන්



ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පල වන වාර්තා පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බව එක්සත් රාජධානිය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ක්ෂමා සංවිධානය (ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්) පෙන්වා දෙති.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ප්‍රතිපත්තිමය වශයෙන්  විරෝධය පල කරන බවයි.

මිට මාස 06ක පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසිවාරයේදී මරණ දණ්ඩනය භාවිතා කිරිමට එරෙහි ගෝලීය තහනමට පක්ෂය ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කර ඇති බව එක්සත් රාජධානිය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සදහන් කර තිබේ.

එම ප්‍රතිපත්තිය ආපසු හැරවීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්ථාවරයට, සංචාරක කර්මාන්තයට සහ ව්‍යාපාර කටයුතුවලට ප්‍රතිගාමී පියවරක් වනු ඇති බව එක්සත් රාජධානීය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ නම් ත්‍රස්තවාදය වැලැක්විම ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරිමේ කාරනා සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරිමට අපහසු වනු ඇති බව අදාල නිවේදනයේ සදහන් වන්නේය.

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම අත්හිටුවන ලෙස දිගින් දිගටම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බව ද එක්සත් රාජධානිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයෙන් තම සංවිධානය කම්පනයට පත්ව සිටින බවයි ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

එම ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ බිරාජ් පට්නායික් මහත පෙන්වා දෙන්නේ වසර 43කට පසුව ශ්‍රි ලංකාව තුළ යලි මරණ දඩුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පල කරන බවයි.

මෙම තීරණය ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර කීර්තියට හානිදායක වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාල තීරණය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් නැවත සලකා බලනු ඇති බවට බලාපොරොත්තුවෙන් සිටින බවත් ක්ෂමා සංවිධානය පවසයි.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ මරණීඩ දණ්ඩනය ක්‍රියාත්මක කිරිම බරපතල අපරාධයක් බව ක්ෂමා සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේය

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS