බල කිරීම්වලට කැමැති නෑ



ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ අර්බුදවලට බාහිර විසඳුම් ලබාදීමට බල කෙරෙන හානිකර ක්‍රියාමාර්ගවලට සහාය නොදෙන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා ජීනිවා නුවරදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් වැඩි දෙනෙක් වත්මන් ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බැවින් රටේ අර්බුදවලට බාහිර විසඳුම් ගෙනෙන හානි ක්‍රියාමාර්ගවලට සහාය නොදෙන ලෙස හෙතෙම එහිදි ඉල්ලා සිටියේය. 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට සමගාමීව පැවැති වර්ගවාදය, වාර්ගිකව වෙනස් කොට සැලකීම, විදේශිකයන් නුරැස්සනා ස්වභාවය හා ඒවා ආශ්‍රිත අන්තගාමීත්වය සම්බන්ධයෙන් පැවැති පොදු විවාදයේදී ජාත්‍යන්තර බෞද්ධ සහන සංවිධානය නියෝජනය කරමින් අදහස් දක්වමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා එම කරුණු කීවේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේද කීවේය.

“වසර 2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජයට පත්වීමෙන් අනතුරුව සිංහල, දෙමළ, මුස්ලම්, බර්ගර් සහ අනෙකුත් සියලු ජනකොටස් ඇතුළු ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත්තා. තිස් වසරක යුද්ධයෙන් විනාශ වී ගිය රට නැවත ගොඩනැගීම සඳහා එකතු වුණා. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකු වත්මන් ආණ්ඩුවට එකඟ නැහැ. ස්වෛරී ජාතියක් වන ශ්‍රී ලංකාවේ අර්බුදවලට බාහිර විසඳුම් අවශ්‍ය නැහැ. එවැනි විසඳුම් ගෙන සෑම සඳහා කරන හානිකර ක්‍රියාමාර්ගවලට සහාය නොදෙන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා”.
මෙම පොදු විවාදයේදී ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ තවත් රටවල් කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ විය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් ම අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකාව යනු ජාති, ආගම්, කුල භේද නොසලකා සියලු දෙනාගේ අයිතිවාසිකම්වලට ගෞරව කරන බෞද්ධ රටක්. එරට ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල හා දෙමළ භාෂා රාජ්‍ය භාෂා ලෙස නම් කර තිබෙනවා. එමෙන්ම ජාතික කොඩියෙන් සුළු ජන කොටස් නියෝජනය වී තිබෙනවා. රටේ ප්‍රධාන ව්‍යාපාර අයිති සුළු ජාතිකයන්ට” යැයි මෙහිදි අදහස් දැක්වූ ‘ගිනියා වෛද්‍ය අන්‍යෝනය සංවිධානය’ සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කරන බවට ශ්‍රී ලංකා රජය පොරොන්දු වුවද දෙමළ ජනතාව අභිමතයට අනුව අත්අඩංගුවට ගන්නා බවත් ඔවුන් රඳවාගන්නා බවටත් මෙම විවාදයේදී අදහස් දැක්වූ ‘භාරතී සෙන්ටර් කල්චරල් ෆ්‍රැන්කෝ-තමූල්’ සංවිධානය ශ්‍රී ලංකාවට චෝදනා කළේය. එමෙන්ම රාජ්‍ය දෙමළ ජනාතවට රජයේ සේවාවලට ප්‍රවේශවීමට තිබෙන ඉඩකඩ අඩු යැයි ද එම සංවිධානය එහිදි තවදුරටත් චෝදනා කළේය.

ශ්‍රී ලංකා රජය දෙමළ ජනතාවගේ ඉඩම් අල්ලාගෙන ඇතැයි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දෙමළ ජනතාවට වදහිංසා කර ඇතැයි ද, සාමය උදා කරගැනීමට හැකි එකම ක්‍රමවේදය ජනමත විමසුමක් පැවැත්වීම හා ස්වයං නිර්ණයට ඉඩදීම යැයි මෙහිදි අදහස් දැක්වූ ‘ඒ.බී.සී ටැමිල් ඔයිල්’ සහ ‘අලායන්ස් ක්‍රියේටිව් කොමියුනිට් ප්‍රොජෙක්ට්’ යන සංවිධාන අවධාරණය කළහ.

ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සුළුතරය උතුරේ සහ නැගෙනහිර සිටින දෙමළ ජනතාවට වෙනස් කොට සලකන බවත් 2009 වසරෙන් පසු හින්දු කෝවිල් වෙනුවට බෞද්ධ විහාරස්ථාන ඉදි කර ඇති බවත් මෙම විවාදයේ දී කරුණු දැක්වූ ‘අප්‍රිකාව සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව’ සංවිධානය පැවැසීය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ඉලක්ක කරගනිමින් සිදුවන වෙනස්කම් නැවැත්වීම සඳහා මානව හිමිකම් කවුන්සිලය පියවර ගත යුතු බව ද එම සංවිධානය මෙහිදි පෙන්වා දුන්නේය.

ඉහත සංවිධානවලට අමතරව තවත් සංවිධානය කිහිපයක්ම මෙම පොදු විවාදයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීය. මෙම පොදු විවාදය ආරම්භ වූයේ 20 ය. මේ අතර මෙරට වේලාවෙන් 21 රාත්‍රී 10ට පමණ මානව හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයේදී වාචික ප්‍රකාශයක් කිරීමට හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS