පාසල් බැංකු ගිණුමෙන් මුදල් ගැනීම අත්හිටුවයි



කටාර්  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය යටතේ එරට පවත්වාගෙන යන ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ බැංකු ගිණුමේ මුදල් ඉවතට ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙසට එරට ශ්‍රී ලංකා තානාපතිවරයා එම බැංකු ගිණුම පවත්වාගෙන යන අදාළ බැංකුවට දැනුම් දී ඇත.

කටාර් රාජ්‍යයේ ලාභ නොලබන පාසලක් ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රහය ලැබුණද තානාපති කාර්යාලයේ දැනුවත් වීමකින් තොරව එම පාසලේ සිදුවන ඇතැම් ක්‍රියාකාරකම් හේතුවෙන්  ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

එසේම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් වනතෙක් තමාන්ගේ අවසරයකින් තොරව එම පාසල් ගිණුමේ මුදල් ගැනීම මෙලෙස අත්හිටුවූ බව කටාරහි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.එම පාසල් ගිණුම අත්හිටුවීමෙන් අදාළ පාසල වසා දැමීම හෝ දරැවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණවීමක් නොවන බවද ශ්‍රී ලංකා තානාපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් නොකරමින් අදාළ පාසල තුළ පිටතින් මුදල් එකතු කිරීම, පාසල් මුදල් අවභාවිතය, පාසලේ ඉගෙනුම ලබන ළමුන්ට නිසි පහසුකම් ලබා නොදීම, ගුරුවරුන් සහ සේවකයින් හට නිසි වැටුප් නොගෙවීම ,දෙමව්පියන්ගේ පැමිණිලි කිසිවක් නොසලකා හැරීම හා පාසල තුළ සතුටුදායක පාලනයන් පාසල තුළ නොමැති බවට පැමිණිලි සිය ගණනක් ලැබුණු බව බවද හෙතෙම කියා සිටී.

ස්ටැෆර්ඩ් පාසලේ සිදුවන මෙම අකටයුතුකම් තමන්  විදේශ කටයුතු අමාත්‍යාංශය යොමුකළ වාර්තා අනුව , පරීක්ෂණ අවසන් වන තෙක් පාසල් ගිණුමේ මුදල් ඉවතට ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බව කටාර් හී ශ්‍රී ලංකා තානාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මේ අතර ස්ටැෆර්ඩ් පාසලේ සිදුවන අකටයුතුකම් පිළිබඳ සොයා බැලීමට විදේශ අමාත්‍යාංශයේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද කටාරයට පැමිණ ඇති අතර ඔහුද මේ සම්බන්ධයෙන් පාසල් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS