ප්‍රහාරය ගැන කලින් තොරතුරු ලැබිලා



කොළඹ සහ ඇතැම් ස්ථානවල සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් කලින් තොරතුරු ලැබී තිබුණ ද ඒ පිළිබඳව ප්‍රමාණවත් පියවර නොගැනීම සහ ප්‍රමාණවත් පරිදි අවධානය යොමු නොකිරීම බරපතළ කරුණක් යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය. 

අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් තමා ඇතුළු අමාත්‍යවරුන් දැනුවත් නොකිරීම සහ තොරතුරු ලැබී තිබියදී ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකිරීම සහ අදාළ පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සොයා බලන බව අග්‍රාමාත්‍යවරයා 21 පස්වරුවේ පැවැසීය.

කොළඹ අරලිය ගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කරුණු කීය. 

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය. 

“බෝම්බ් පිපිරීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වූ වහාම රට තුළ අස්ථාවරත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අග්‍රාමාත්‍යවරයා ලෙස මම අවශ්‍ය සියලු පියවර ගත්තා. කිසිසේත් ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩ තියන්නේ නැහැ. මූලික පියවරක් ලෙස ආරක්ෂක ලේකම්වරයා සහ ආරක්ෂක ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගත්තා. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කළා. සෞඛ්‍ය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර ඒ ඒ අංශවලට අදාළව පියවර ගැනීමට උපදෙස් දුන්නා. කතානායකවරයා සමඟ සාකච්ඡා කළා. ඒ අනුව හෙට පාර්ලිමේන්තුව කැඳවනවා.

මම හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු සමඟ සාකච්ඡා කළා. මහානායක හිමිවරුන් දුරකතනයෙන් අමතමින් උන්වහන්සේලාට සිදුවීම් ගැන තොරතුරු දැනුම් දුන්නා. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් සමඟත් සාකච්ඡා කළා.

අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර අදාළ පියවර ගැනීමට කටයුතු කළා. ඒ වගේම එහිදි ගත යුතු ඉදිරි පියවර ගැනද සාකච්ඡා කළා.

ප්‍රහාර මාලාවෙන් මෙරට වැසියන් මෙන්ම විදේශිකයන් විශාල පිරිසක් ද ජීවිතක්ෂයට පත්වුණා. තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. ඔවුන් සියලු දෙනාට මම මගේ කනගාටුව සහ සංවේගය පළ කරනවා.

සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ කටයුතු කරනවා. ප්‍රහාරවලට සැකපිට අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතර කිසිදු විදේශිකයෙක් නැහැ. ඔවුන් සියලු දෙනා මෙරට වැසියන්. ඔවුන් සහ විදේශීය කණ්ඩායම් අතර සම්බන්ධතා තිබෙනවා ද කියා සොයා බලනවා. 

රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම තමා මූලික කරුණ. ඒ සඳහා දැනටමත් පියවර ගෙන තිබෙනවා. ත්‍රස්ත ක්‍රියා සිදුකළ පරිහරණය කරන ලද නිවාස ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදා ගනිමින් මෙම ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත් සියලු දෙනාට තදින් නීතිය ක්‍රියාත්මක කරනවා.

මෙහෙයුම් අතරවාරයේදී පොලිස් නිලධාරීන් තිදෙනකු ඔවුන්ගේ ජීවිත පූජා කළා. 

අසත්‍ය පුවත්, ප්‍රචාර, කටකතා නිසා මහජනතාව නීතිය අතට ගෙන කටයුතු කළහොත් සිදුවන්නේ ත්‍රස්තවාදීන්ගේ වුවමනා ඉටුවීම පමණයි. ඒ නිසා සන්සුන්ව සාමය ආරක්ෂා කරමින් කටයුතු කරන්නැයි ශ්‍රී ලාංකිකවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා. 

සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ ආරක්ෂක අංශ, ආගමික නායකයන් සහ මහජනතාවට මම මගේ කෘතඥතාව පළ කරනවා.

මේ මොහොතේ රට තුළ යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කර රට අස්ථාවර කිරීමට යම් කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් දෙස් විදෙස් සහාය ලබාගනිමින් එම ත්‍රස්තවාදී ක්‍රියා පරාජය කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව අවධාරණය කරනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඉරානයේ සංචාරයක නිරත වී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය ෂාහ් මහ්මූද් කුරේෂි, නේපාල අගමැති ප්‍රසාද් ඕලි ඇතුළු රාජ්‍ය නායකයන් මා අමතා ඔවුන්ගේ කනගාටුව සහ සංවේගය පළ කළා. ඒ වගේම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට මෙන්ම කෙරෙන පරීක්ෂණවලට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද පොරොන්දු වුණා. 

සමඟිව කටයුතු කර අප සැවොම හමුවේ තිබෙන මෙම අභියෝගය පරාජයට පත් කිරීමට එකාවන්ව අත්වැල් බැඳගන්නැයි ආදරණීය ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

හර්ෂණ තුෂාර සිල්වා
ඡායාරූප ඉෂාන් සංජීව

RECOMMEND POSTS