ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්න බැහැ



යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීම, මානව හිමිකම් සුරැකීම යනාදි කරුණුවලදී ශ්‍රී ලංකාව පෙන්වා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කර ඇත.

යුක්තිය ඉටු කිරීම, සත්‍ය සෙවීම, හානිපූරණය, බරපතළ අපරාධ නැවත සිදු නොවීමට වග බලාගැනීම යනාදි කරුණු ස්ථාපිත කරන බවට ශ්‍රී ලංකාව 2015 වසරේ පොරොන්දු දුන්නද එම පොරොන්දු ඉටු කිරීම සිදුව ඇත්තේ ඉතා අඩු වේගයකින් යැයි ද එම පොරොන්දු කඩ කිරීම් වාර්තා වන බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන් කර තිබේ.

වසර 2017/2018 තම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් මෙම කරුණු සඳහන්  කර තිබේ. ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල කරන නිරීක්ෂණ අනුව රටින් රටට වෙනමම වාර්තාවක් ඉදිරිපත් කර තිබෙන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම කරුණු පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙන අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත, ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිවලට අනුකූල නව පනතක් ඉදිරිපත් නොකිරීම, නොනවත්වා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම, පොලිස් අත්අඩංගුවේදී පීඩා හා වදහිංසා පැමිණවීම, සුළු ආගමික හා වාර්ගික කොටස් සහ මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට පීඩා පැමිණවීම් පිළිබඳව අඛණ්ඩව තොරතුරු වාර්තා වන බව ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS