නෝර්වේ - ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත්



නෝර්වේ රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශවීය සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ නෝර්වේජියානු තානාපති ට්‍රීනා යුරන්ලි එස්කඩෙල් මහත්මිය අද (3) ප්‍රකාශ කළාය.

මෙරට නෝර්වේ තානාපතිනි ට්‍රීනා යුරන්ලි එස්කඩෙල් මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කතානායක කාර්යාලයේදී, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණ ගැසෙමින් ඒ බව පැවැසුවාය.

නවවැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබපැතුම් එක් කළ නෝර්වේ තානාපතිනිය පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳවද කතානායකවරයා සමඟ සාකච්ඡා කළාය.

දෙරටේ පාර්ලිමේන්තු දෙක අතර අනාගතයේදී සිදු කළ හැකි සබඳතා හා සහක්‍රියාකාරීත්ව පිළිබඳවද නෝර්වේ තානාපතිනිය සහ කතානායකවරයා එහිදි අදහස් හුවමාරු කරගත්හ.

ඔස්ලෝ මධ්‍යස්ථානය මීට පෙර ක්‍රියාත්මක කරන ලද වැඩසටහනක කොටසක් වශයෙන් මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වෙමින් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළ පාර්ලිමේන්තු නියෝජිතයන් මුණගැසුණු බවද ඇය මෙහිදි සිහිපත් කළාය. පොදු ඒකමතිකභාවය හා සන්ධානගතවීම් ගොඩනැගීමේදී නෝර්වේජියානු සන්දර්භය තුළින් උගත හැකි වටිනා පාඩම් හඳුනාගැනීම එම සංචාරයේ අරමුණ වූ බව තානාපතිවරිය කීවාය.

විවිධ රටවලින් ප්‍රායෝගික අත්දැකීම් උකහා ගැනීම තුළින් ඉගෙන ගැනීමේ සහ විවිධ පාර්ලිමේන්තු ආශ්‍රිතව මුහුණ පෑමට සිදු විය හැකි අභියෝග හා ගැටලු වෙත සාර්ථකව මුහුණ දීම සඳහා එකී අවස්ථාවලට නිරාවරණය වීමේ වැදගත්කම අවධාරණය කළ නෝර්වේ තානාපතිවරිය නෝර්වේ රාජ්‍යයේ පාර්ලිමේන්තු අත්දැකීම්වලින් උගත් පාඩම් බෙදාහදා ගැනීමට සූදානමින් සිටින බව ද කීවාය.

ආර්ථික සංවර්ධනය, සාගරික අංශය, පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය මෙන්ම ශ්‍රී ලංකාව හා නෝර්වේ රාජ්‍යය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් ද මෙම කතානායකවරයා සහ තානාපතිවරිය තවදුරටත් සාකච්ඡා පැවැත්වූහ.

නෝර්වේජියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී හිල්ඬේ බර්ග්-හැන්සන් මහත්මිය, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික බස්නායක මහතා සහ පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


RECOMMEND POSTS