නේපාලයට සෘජු ගුවන් සේවා



ශ්‍රී ලංකාව හා නේපාලයේ කත්මණ්ඩු අගනුවර අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමු වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

මේ සම්න්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්භර් පියක්කුර්යල්   මහතා අතර නිල වශයන් කරුණු සාකච්ඡා වී ඇත.

ශ්‍රී ලංකාව හා නේපාලය අතර ද්විපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නේපාල තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර ඊයේ (14) විශේෂ හමුවක් පැවැත්වූ අතර  එහිදී මෙම නව ගුවන් සේවාව ඇරඹීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම හා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු වූ බවද විදේශ අමාත්‍යාංශය කියයි.තවද, නේපාලය හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු පුළුල් කර ගැනීමත් දෙරට සංස්කෘතික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කර ගැනිම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුභ පැතුම් එක් කළ නේපාල තානාපතිවරයා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහාය ලබා දෙන බවද කීය.අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී කියා සිටියේ කලාපයේ මිත්‍ර රටක් ලෙස නේපාල රජය ලබා දෙන රාජ්‍ය තාන්ත්‍රික සහය අගය කරන බවයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්භර් පියක්කුර්යල්   මහතා සුහද පිළිසඳරක නිරත ව සිටි අයුරුය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS