නීතිමගින් පියවර ගන්නවා



රැකියා සදහා ඊශ‍්‍රායලට ගොස් වීසා කාලය අවසන් වී මේ වන විට නීති විරෝධීව එරට රැදී සිටින ශ‍්‍රමිකයින් එකසිය හතර දෙනෙක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි

ඒ අනුව දැනටමත් නඩු ගොනු හැටක් අධිකරණයේ විවෘත කර තිබෙන අතර තවත් නඩු ගොනු තිහක් සදහා අවශ්‍ය නීතිමය පියවර මේ වන විට ගෙන තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

අධිකරණමය ක‍්‍රියාදාමයේ පළමු පියවරක් ලෙස තවදුරටත් නීති විරෝධී ලෙස ඊශ‍්‍රායලයේ රැදී සිටින ශ‍්‍රමිකයින් නව දෙනෙක්ට විරුද්ධව එන්තරවාසි යවා තිබෙන බව ද නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.

මෙලෙස අධිකරණමය පියවර ගැනීම ආරම්භ කිරීමත් සමග නීති විරෝධී ලෙස එරට රැදී සිටි ශ‍්‍රමිකයින් පස් දෙනෙක් යළිත් මෙරටට පැමිණි ඇති බව ද ඔහු පැවැසීය

අධිකරණමය පියවර ගෙන ඇති නඩු ගොනුවලින් නඩු ගොනු විසි දෙකක් මේ වන විටත් කැදවා ඇති අතර මැයි සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළදී මෙම කැ`දවීම් කර තිබෙන බව ද ඔහු පැවසීය.

මේ ආකාරයට නීති විරෝධී ලෙස එරට රැඳී සිටින ශ‍්‍රමිකයින් ලංකාවට ගෙන්වා ගැනීමට අමාත්‍යාංශය කටයුතු කරන බව කී මනූෂ නානායක්කාර මහතා මාස හයක සේවා කාලය අවසන් කර නැවත පැමිණෙන ශ‍්‍රමිකයින්ට නැවත වතාවක් රැකියා සදහා ඊශ‍්‍රායලයට පිටත්ව යාමට අවස්ථාව තිබෙන බව ද කීවේය.

මේ ආකාරයට නියමිත වීසා කාලය අවසන්වීමෙන් පසුව නීති විරෝධී ලෙස රැඳී සිටීමෙන් රටට ලැබෙන රැකියා කෝටාව අහිමි වී යාමේ අවදානමක් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටට තිබෙන කීර්ති නාමයටද හානි වන බව හෙතෙම කියා සිටියේය.

ඩයනා උදයංගනී


RECOMMEND POSTS