නව හැඳුනුම්පත එයි



පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පළමු වැනිදා සිට සුහුරු ජාතික හැඳුනුම්පත් දීපව්‍යාප්තව නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

ජාතික හැදුනුම්පත් පත් අලුතින් ලබා ගැනීමේදී මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

මෙම සුහුරු හැඳුනුම්පත් අත්හදා බැලීමේ පදනම මත දෙසැම්බර් 17 දා සිට බස්නාහිර සහ සබරගමුව පළාත් වල පමණක් නිකුත් කිරීම අරඹනු ලැබූ අතර  එය සාර්ථක වූ බැවින් හෙට සිට මුළු දිවයිනේම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට  තීරණය කළ බව ගුණතිලක මහතා සඳහන් කළේය.

මෙම නව ක්‍රමය යටතේ ජාතික හැඳුනුම්පත් සඳහා අයදුම් කිරීමේදී, අයදුම්පතේ අයදුම්කරුගේ ඡායාරූපය ඇලවීම අවශ්‍ය නොවන අතර  මේ සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප හල් වලින් පමණක් ඡායාරූප ගත යුතු බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.

එහිදී ගනු ලබන ඡායාරූප අයදුම්කරුට නොලැබෙන අතර ඡායාරූප ශාලා විසින් එය විද්‍යුත් තැපෑල මගින් දෙපාර්තමේන්තුවට යවනු ලැබේ. ඡායාරූපයේ මුද්‍රිත පිටපතක් ඡායාරූප ශාලාව විසින් ලබාදෙන රිසිට් පතේ අලවනු ලබන අතර එම රිසිට් පත අයදුම්කරු විසින් තම ඉල්ලුම් පත්‍රය සමග ප්‍රදේශයේ  ග්‍රාම නිලධාරී වෙත බාර දිය යුතු බවද හෙතෙම කීය.

සුහුරු ජාතික හැඳුනුම්පත් වලට ඡායාරූප ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා පිහිටි ඡායාරූප ශාලා 2100ක් දැනට ලියාපදිංචි කොට තිබේ. ඔවුන්ට ඒවා දෙපාර්තමේන්තුව වෙත යැවීම සඳහා ජාත්යයන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ නිර්නායකයන්ට අනුව සැකසූ විශේෂ මෘදුකාංගයක් ලබා දී ඇති බව ගුණතිලක මහතා කීය.

මෙම නව ක්‍රමය මගින් ජාතික හැඳුනුම්පත් සඳහා විකෘති කළ හෝ වැරදි ඡායාරූප ඇතුළත් කිරීම වැනි අයථා ක්‍රියා නතර වෙනු ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS