නව රජය සමඟ සහයෝගයෙන් වැඩ කරනවා



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නව රජය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවත් ඊට උපරිම සහාය දෙන බවත් චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී කොළඹ දී පැවැසීය.

චීන විදේශ අමාත්‍ය සහ චීන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභික වෑන්ග් යී මහතා ඉකුත් දා (14) වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

එම සංචාරයේදී චීන විදේශ අමාත්‍යවරයා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුණ ගැසී ද්විපාර්ශ්වීය සාකච්ඡුා පැවැත්වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද හමුවිය.    

ශ්‍රී ලංකාවේ සංවර්ධන කි‍්‍රයාවලියට චීනය නිරන්තරයෙන් ලබාදෙන දායකත්වය ඇගයූ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර හා කලාපීය සමුළු හා සංසද රැුසකදී ලබාදෙන සහාය වෙනුවෙන් චීනයට ස්තූතියි පළ කළේය.

වැදගත් යටිතල පහසුකම් සංවර්ධනය, සෘජු විදේශ ආයෝජන හා ආරක්ෂක, අධ්‍යාපන, සංචාරක ක්ෂේත‍්‍රවල සහයෝගීතාව දිරිගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදු කරන කටයුතුවල දී චීනය ඒවාට සම්බන්ධ වී කටයුතු කිරීමේ වැදගත්කම ද අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

2013 වසරේ දී දෙරටේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වයේ කාර්ය රාමුව යටතේ අත්කර ගත් ජයග‍්‍රහණ පිළිබඳව සලකා බලමින්, ශ්‍රී ලංකාවේ නව පරිපාලනය යටතේ උදා වී ඇති යෝග්‍ය වාතාවරණයෙන් වාසි ලබා ගැනීම සඳහා දෙරටම ප‍්‍රයන්ත දැරිය යුතු යැයි ද චීන විදේශ අමාත්‍යවරයා මෙහිදි කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉක්මනින් ම චීනයේ සංචාරය කරනු ඇතැයි අපේක්ෂා කරන බව පැවසූ අමාත්‍ය වෑන්ග් යී මහතා එම රාජ්‍ය සංචාරය මඟින් දැනට තිබෙන සහයෝගීතා ශක්තිමත් හා වැඩි දියුණු කරගැනීමටත් නව සහයෝගීතා ඇති කර ගැනීම සඳහාත් ප‍්‍රායෝගික උපාය මාර්ග සොයාගැනීමට හැකි වනු ඇති බව ද කීය.  

ශ්‍රී ලාංකිකයන්ගේ සුබසිද්ධිය සහ යහපත උදෙසා වෙළෙඳාම, ආයෝජන හා සංචාරක කටයුතු  දිරිගැන්වීම චීනයේ දැක්ම බව ද අමාත්‍ය වෑන්ග් යී මහතා එහිදි පැවැසීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ දැක්ම තවදුරටත් ශක්තිමත් හා වැඩිදියුණු වනු ඇතැයි ද දෙරටේ විදේශ අමාත්‍යවරු මෙහිදි බලාපොරොත්තු පළ කළහ.

ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, තානාපති වූ ජියැන්ග්හෝ මහතා ප‍්‍රමුඛ චීන විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් චීන විදේශ අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට එක්ව සිටියහ.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් ද මෙම සාකච්ඡුාවලට එක්වූහ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS