ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්න



අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන්ට කොන්සියුලර් සේවා සහ අවශ්‍ය අනෙකුත් දෑ කඩිනමින් සැපයීම ඉතා වැදගත් බවත් එම ධීවරයන්ට කඩිනමින් කොන්සියුලර් සේවා ලබාදීම සඳහා අපි ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු ධීරයේ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයන් 54 දෙනකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව පසුගිය 24 වැනිදා පියවර ගෙන තිබිණි.

ඉන්දීය ධීවරයන්ට අදාළ ගැටලු සම්බන්ධයෙන් මානුෂීය ආකාරයකින් කටයුතු කළ යුතු බව අවධාරණය කරන බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

අත්අඩංගුවට ගත් ධීවරයන්ට කොන්සියුලර් සේවා සහ අවශ්‍ය අනෙකුත් දෑ කඩිනමින් සැපයීම ඉතා වැදගත් බවත් මෙම ධීවරයන්ට ඉක්මනින් කොන්සියුලර් සේවා ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සමඟ කටයුතු කරන බවත් එහි සඳහන් ය.

ධීවර ගැටලුවට අදාළ සියලු කරුණු පුළුල්ව ආමන්ත්‍රණය කිරීම සඳහා ද්විපාර්ශවික යාන්ත්‍රණ ස්ථාපිත කර ඇති බවත් ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවේ ලේකම් මට්ටමේ සිව්වන රැස්වීම අන්තර්ජාලය ඔස්සේ 2020 දෙසැම්බර් 30 වන දින පැවැත්වුණු බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. එම රැස්වීමේ සාකච්ඡා මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතු යැයි ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.


RECOMMEND POSTS