දූපත් රාජ්‍ය දෙකක් සමඟ සබඳතා



දූපත් රාජ්‍යයන් දෙකක් සමඟ නව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

ඒ අනුව මෙලෙස නව රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර ඇත්තේ බාබඩෝස් රාජ්‍ය හා ශාන්ත ලුසියා යන දූපත් රාජ්‍යයන් සමඟිනි.

දෙරටේ රජයන් සමඟ ද්විපාර්ශික සබඳතා තහවුරු කර ගැනීමේ අරමුණෙන් මෙම රාජ්‍ය තාන්ත්‍රික ඇරඹූ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

බාබඩෝස් සහ ශාන්ත ලුසියා යන රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් දේශපාලන, සමාජ- ආර්ථික සහ සංස්කෘතික ක්ෂේත්‍රවල එම රාජ්‍යයන් දැනට පවත්නා මිත්‍ර සබඳතා හා සහයෝගීතාව තවදුරටත් වර්ධනය වනු ඇතැයිද එම අමාත්‍යාංශය කියා සිටී.

ශ්‍රී ලංකාව බාබඩෝස් සහ ශාන්ත ලුසියා අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපනය කිරීමේ ගිවිසුමට අත්සත් තැබීම ඉකුත් දා ඇමෙරිකාවේ නිව්යොර්ක් නුවරදී සිදු කෙරුණු අතර ඊට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපති ආචාර්ය අම්රිත් රොහාන් පෙරේරා මහතා අස්සන් තබන ලදී.

බාබඩෝස් රජය වෙනුවෙන් එක්සත් ජාතීන් සඳහා වූ බාබාඩෝස් නිත්‍ය නියෝජිත තානාපතිනි එච්. එලිසබෙත් තොම්සන් මහත්මිය ද , ශාන්ත ලුසියා රජය වෙනුවෙන් එක්සත් ජාතීන් සඳහා වූ ශාන්ත ලුසියා නිත්‍ය නියෝජිත තානාපති කොස්මොස් රිචඞ්සන් මහතාද ඊට අස්සන් තබා ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS