දුක් ගැහැට විඳි 27 ක් ආපසු එයි



කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ 27 දෙනෙක් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීම මත ඊයේ උදෑසන 6.30 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයෙන් දිවයිනට පැමිණියහ.

මෙම පිරිස අතරින් 04 දෙනෙකු සංචාරක වීසා මඟින් රැකියාව සඳහා කුවේට් රටට ගොස් තිබේ. මෙසේ පැමිණි 27 දෙනාම කාන්තාවන් වන අතරල ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මොවුන් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් සුරක්‍ෂා නිවාසයට පැමිණ ඇත. මෙම පිරිස අතුරින් ශ්‍රමිකයින් 11 දෙනෙකු සඳහා ගමන් ගාස්තු සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මඟින් ලබාදුන් අතර, ශ්‍රමිකයින් 18 දෙනකු සඳහා රක්ෂණ වන්දි ලබාගැනීමට උපදෙස් දෙන ලදී. මෙම පිරිස අතුරින් කාන්තාවන් දෙදෙනෙකු අසනීප තත්ත්වයේ පසුවෙති.

මේ වන විට කුවේට් රජය මඟින් පවත්වාගෙන යනු ලබන සුභසාධන කඳවුරෙහි ශ්‍රී ලාංකිකයින් කිසිවෙකු නොමැති අතර, කුවේට් සුරක්ෂා නිවාසයේ කාන්තාවන් 85 ක් පමණක් ඉතිරිව සිටින බැවින් එම පිරිසද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යතුමිය විසින් තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊට අමතරව නීතිමය කටයුතු සිදුකෙරෙන හා සිය හාම්පුතා විසින් පොලිස් පැමිණිලි කර ඇති ශ්‍රමිකයින් සෑම සතියකම අඟහරුවාදා දින එරට පොලිසි මඟින් ලංකාවට එවීමට අදාළ කටයුතු කරන හෙයින් මෙම සියළුම ශ්‍රමිකයින් මෙම වසර අවසන් වීමට පෙර දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවනු ඇත.

2016 වසරේ මෙසේ විවිධ කරදරවලට ලක්වූ 1324 දෙනෙකු ගෙන්වා ගෙන ඇති අතර, ඒ සඳහා කුවේට් ඩිනාර් 17,392 ක වියදමක් දරා ඇත. 2015 වසරේ ලාංකිකයින් 2873 දෙනෙකු දිවයිනට ගෙන්වා ගන්නා ලදී. ඒ සඳහා කුවේට් ඩිනාර් 57,285 ක වියදමක් කාර්යාංශය මඟින් දරා ඇතැයි කාර්යංශය කියයි.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS