තෙවැනි පාර්ශවයක් අවශ්‍ය නැහැ



ශ්‍රී ලංකාව සහ චීනය අතර තිබෙන සබඳතා කළමනාකරණය කරගැනීමට රටවල් දෙකටම ප්‍රමාණවත් දැනුම හා අවබෝධය ඇතැයි ද ඒ සඳහා තෙවැනි පාර්ශවයක් අවශ්‍ය නැතැයි ද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕගේ ශ්‍රී ලංකා සංචාරයට පෙරාතුව ශ්‍රී ලංකාව විදේශ සබඳතා සම්බන්ධයෙන් ‘‘දුෂ්කර එහෙත් අත්‍යවශ්‍ය තීරණ ගත යුතු’’ යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් චීන තානාපති කාර්යාලය එම නිවේදනය නිකුත් කර තිබේ.

ඇමෙරිකානු නිලධාරීන් තවමත් සිටින්නේ සීත යුද්ධයේ සහ හෙජමනික මානසිකත්වයෙන් බවත් ඉදිරියේදී එය විනාශ වී යනු ඇති බවත් චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

අන් රටවල අභ්‍යන්තර සහ විදේශ ප්‍රතිපත්තිවලට මැදිහත්වීමේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ රටවලට පැත්තක් ගැනීමට බල කිරීමේ නරක පුරුද්දක් ඇමෙරිකාවට ඇතැයි ද චීන තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර 2,000කට අධික කාලයක් මුළුල්ලේ සිට යහපත් හා මිත්‍රශීලි සබඳතා පවතින බවත් රාජ්‍ය තාන්ත්‍රික සබඳාතා ආරම්භ කිරීමටත් පෙර ඇමෙරිකාවේ සම්බාධක නොතකමින් ශ්‍රී ලංකාව සහ චීනය ඓතිහාසික රබල්-සහල් ගිවිසුමට අත්සන් තැබූ බවත් එම තානාපති කාර්යාලය කියයි.

රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ගේ සංචාරය භාවිත කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සබඳතාවලට මැදිහත් වීමට ඇමෙරිකාව දරන උත්සහායට සිය දැඩි විරෝධය පළ කරන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

‘කොවිඩ්-19’ වයිරස පැතිර යෑමත් සමඟ ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු අභියෝගයකට මුහුණ දී ඇති බවත් එවැනි අවස්ථාවක ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට ආනයනික ‘කොවිඩ්-19’ ආසාදිතයන් දරා ගැනීමට නොහැකි බවත් එම කාර්යාලය කියයි.

‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන් ලක්ෂ 90කට ආසන්න පිරිසක් සහ වයිරස ආසාදිත මරණ 230,000කට ආසන්න ගණනක් වාර්තා වන ඇමෙරිකාවෙන් රාජ්‍ය ලේකම්වරයා පැමිණීමට ප්‍රථම විශාල දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් සංචාරයට ප්‍රථම විවිධ ඉල්ලීම් කළ බවත් එමෙන්ම හදිසියේ මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන්නැයි ඉල්ලා ඇති බවත් මේ සියල්ල කරන්නේ සත්කාරක රටට ගෞරව කරමින් ද ? ඒවා ශ්‍රී ලංකාවේ වසංගතය පාලනය කිරීමට උපකාරී වන්නේ ද ? ඇත්ත වශයෙන්ම මේ සංචාරය කෙරෙන්නේ ශ්‍රී ලංකික ජනතාවගේ අභිලාෂ මුදුන්පමුණුවාලීමේ අරමුණින් ද ? යන ප්‍රශ්න මහජනතාව විමසන බව ද චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සැබෑ මිතුරන් සෑම විටම අනෙකාගේ පැත්තෙන් බලන්නේ යන උපදේශය ඇමෙරිකාව දීමට කැමැති බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෑතකදී ඉහළ පෙළේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවත් වසංගත තත්ත්වය හේතුවෙන් ඔවුන් පැමිණි පුද්ගලයන්ගේ ගණන දැඩි ලෙස සීමා කළ බවත් එමෙන්ම වැඩසටහන ද සීමා කළ බවත් එම කාර්යාලය කියය.

එමෙන්ම ඔවුන් පැමිණියේ වසංගතයට එරෙහිව සටන් වදින ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සහාය දීමට බවත් එහි දැක්වේ. එමෙන්ම එම දූත පිරිස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය රෙගුලාසි අඛණ්ඩව පිළිපැදි බවත් එම නිවේදනයේ සඳහන් වේ. චීනය සත්කාරක රටට කිසිදු බාධාවක් නොකළ බවත් චීනය ඇමෙරිකාව සමඟ එම පිළිවෙත් බෙදාහදා ගැනීමට කැමැති බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS