තුන්කොන් පෙම අවසන්



තුන්කොන් පෙම් කතාවක් අවසන් කරමින් විසිපස් හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක ඇසිඞ් ප්‍රහාරයකින් මරුමුවට පත් ව ඇගේ පෙම්වතා බව කියන ශ්‍රී ලාංකිකයෙක් බරපතල තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති අතර එම කාන්තාවගේ සැමියා බව කියන තවත් ශ්‍රී ලාංකිකයෙකු බන්ධනාගාර ගත කර ඇතැයි ඩුබායි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙම්වතා සහ තම බිරිඳ සාජා හි මහල්  නිවසක පෙම්සුව විඳිනු දුටු සැමියා ඔවුන්ට ඇසිඞ් ගසා ඇති බවත් එයින් ඇතිවූ දරුණු පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇති බවත් තුවාල ලැබූ විසිතුන් හැවිරිදි තරුණයා බරපතල තුවාල  සහිතව රෝහල් ගත කොට ඇති බවත් එම ආරංචි මාර්ග තව දුරටත් පෙන්වා දෙයි.

මෙම ඇසිඞ් ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා සාජා හි ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට ගෙන ඇතැයි පැවැසේ. මේ සම්බන්ධව පොලිස් පරික්ෂණ සිදු කෙරෙන අතර 30 හැවිරිදි සැකකරු මේ වනවිට බන්ධනාගාර ගත කර ඇත.

මිය ගිය කාන්තාවගේ සිරුර මෙරටට එවීම සඳහා අවශ්‍ය කටයුතු එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් සිදුකරනු ලබයි.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS