ත්‍රී රෝද රථ රැළියක්



පලස්තීන ජනතාව ඛේදවාචකයේ දිනය ලෙසින් හඳුන්වන ‘අල් නක්බා’ දිනයට වසර 70ක් සපිරීම නිමිත්තෙන් පැවැති ත්‍රී රෝද රථ රැළියක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් කොළඹ පලස්තීන තානාපති කාර්යාලය අසලදී පසුගිය 14 පැවැත්විණි.

කොළඹ පිහිටි පලස්තීන තානාපති කාර්යාලය අසලින් ගමන් ආරම්භ කළ මෙම ත්‍රී රෝද රථ රැළිය ගාලු මුවදොර මාර්ගයේ ගමන් කරමින් නැවත පලස්තීන තානාපති කාර්යාලය අසලට පැමිණියේය.

රැළිය ආරම්භ කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා සහ පලස්තීන ධජ වැනීය.

රැළියට එක් වූ ත්‍රී රෝද ශ්‍රී ලංකා සහ පලස්තීන ධජවලින් සහ ‘මම ශ්‍රී ලාංකිකයෙක්, පලස්තීන ජනතාවට සහාය දක්වනවා’ යනුවෙන් දැක්වෙන පෝස්ටරවලින් සරසා තිබිණි.

ශ්‍රී ලංකා පලස්තීන සහයෝගීතා කමිටුව සහ පලස්තීනා තානාපති කාර්යාල එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

වසර 1948 දී පලස්තීනය වෙන් කරමින් ඊශ්‍රායලය රාජ්‍යය ස්ථාපිත කිරීමත් දහස් ගණන් පලස්තීන ජනතාව අවතැන් වීමත් අසල්වැසි රටවලට පිටුවහල් කිරීමත් යන කරුණු මුල් කරගෙන පලස්තීන වැසියෝ සහ පලස්තීනයට සහාය දක්වන පිරිස් විසින් මැයි 14 සහ 15 යන දිනවලදී වාර්ෂිකව ‘අල් නක්බා’ දිනය සමරනු ලැබෙති.


RECOMMEND POSTS