ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය



ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස ශානිකා දිසානායක මහත්මිය බෂ්මන් මාලිගයේ ‘ද රෝයල් හෂමත් කෝට්’හිදී ඉකුත් දා (2) එරට දෙවැනි අබ්දුල්ලා රජුට අක්තපත්‍ර බාර දුන්නාය.

අක්තපත්‍ර බාර දීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැති අතර එහිදි දෙරටේ ජාතීක ගීත වාදනය කළේය. ඊට අමතරව උත්තමාචාර ද පිරිනැමිණි.

මෙහිදි උත්සව සභාව ඇමතූ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ශානිකා දිසානායක මහත්මිය දෙවැනි අබ්දුල්ලා රජුට සුබ පැතුම් එක් කළාය.

දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාව සහ ජෝර්දානය අතර තිබෙන දේශපාලනික සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමට බලාපොරොත්තු වන බවත් දෙවැනි අබ්දුල්ලා එහිදි කීවේය.

ශානිකා දිසානායක මහත්මිය 1998 වසරේදී ශ්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වූ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලවල විවිධ තනතුරු හොබවූවාය. ජෝර්දානයේ තානාපති ලෙස පත්වීමට පෙර ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් ද කටයුතු කළාය. 


RECOMMEND POSTS