ජපන් නැවේ ලාංකික නැවියා අත්අඩංගුවට



මුරුසි දුපත ආසන්නයේදී මීට සති කිහිපයකට පෙර කොරල් පරයක ගැටීමෙන් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් ජපන් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික නැවියකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිලක් රත්න සුබෝධ නැමැති ලාංකික නැවියෙකි. එම ලාංකිකයා සමඟ එම නැවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ  ඉන්දීය ජාතික සුනිල් කුමාර් නන්දේෂ්වර් නැමැත්තාද මුරුසි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ජපාන සමාගමකට අයත් මෙම නෞකාව සිදු කළ අනතුරෙන්, මංකොල්ලකෑම සහ සමුද්‍රීය ප්‍රචණ්ඩත්වය සිදු කර ඇතැයි යන චෝදනාව යටතේ  ලාංකික හා ඉන්දීය ජාතික නැවියන් දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද මුරුසි පොලිසිය සඳහන් කරනු ලැබ ඇත.
පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික සහ ඉන්දීය ජාතික නැවියන් දෙදෙනා ලබන 25 වැනිදා මුරුසි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

‘එම්.වී වකාෂියෝ’ නැමැති  මෙම නෞකාවේ කපිතාන්වරයා ලෙස ඉන්දීය ජාතිකයෙක් වන සුනිල් කුමාර් නන්ඬේෂ්වර් ද, එහි ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කළ තිලක් රත්න සුබෝධ නැමැත්තන් ඉකුත් ජුලි මස 25 වෙනිදා මුරුසි දූපත් වලට අයත් කොරල් පරයක ගැටුණි.

එම අනතුරෙන් සතියකට පසුව නෞකාවේ තිබු ඉන්ධන ටොන් 1000ක් පමණ ප්‍රමාණයක් සාගරයට කාන්දු වීමෙන් මේවන විට මුරුසි දූපත් වලට අයත් සාගරයේ පාරිසරික ගැටළු රැසක් මතුවී තිබෙන අතර  එහි කොරල් පර වල ජෛව විවිධත්ත්වය බරපතල හානි සිදුවී තිබෙන බවද තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම නෞකාව සිංගප්පුරුවේ සිට බ්‍රසීලය බලා ගමන් කරමින් තිබු බවට වාර්තා වී ඇති නමුත් මේ අයුරින් ගොඩබිමට ආසන්නයෙන් ගමන් කිරිමට හේතුව කුමක්ද යන්න තහවුරු කර ගැනීමට මුරුසි පොලිස් නිලධාරින් කටයුතු කරමින් සිටින බවද සඳහන් වේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS