ගුවන්තොටුපොළ 21 ක ඇරේ



මාස දහයකට පසු ලබන 21 වැනිදා සිට කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වානිජ ගුවන් ගමන් සදහා විවෘත කෙරෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව එදින සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ නිල වශයෙන් සංචාරකයන්ට රට විවෘත කරන බවත් , ලබන 23 වන දින පමණ වන විට ගුවන්තොටුපල ආශ්‍රිත වාණිජ ගුවන්ගමන් ක්‍රමානුකූලව යතා තත්ත්වයට පත්වනු ඇතැයි ද සංචාරක අමාත්‍යවරයා කීය.

සංචාරකයන්ට රට විවෘත කිරීමේ ඉදිරි වැඩ පිලිවෙල පැහැදිලි කිරීම සදහා සංචාරක හෝටල් කළමණාකරන ආයතනයේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙතෙම මේ බව සදහන් කලේය.

දිනකට 2500 - 3000 අතර  විදෙස් සංචාරකයන් පිරිසක් ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙන බවත් ,  එම සංචාරකයන්ට පී.සී.ආර්  පරීක්ෂණ වලින් පස්සේ ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් පසුව , මහනුවර දළදා මාලිගාව ඇතුළුව  සංචාරය කළ හැකි ස්ථාන 14 ක් පවතින බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සංචාරක ව්‍යාපාරයෙන් මෙරට ලක්ෂ 30 කට ආසන්න පිරිසක් සෘජු හා වක්‍රව යැපෙන  ජීවත් වීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්ව ඇති බවත් මේ තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව  රට සංචාරකයන්ට විවෘත කිරීමට තීරණය කල බවය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල සහ රට සංචාරකයන්ට විවෘත කිරීම අද ඊයේ ගත්ත තීන්දුවක් නොවන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා , සංචාරක ව්‍යාපාරය නියාමනය කිරීම  සංචාරක සංවර්ධන අධිකාරිය විසින් කළ යුත්තක් බවද පෙන්වා දුන්නේය.

පසුගිය ජූනි මාසේ සිට සංචාරකයින් ගෙන්වීම සදහා වන මාර්ගෝපදේශ  සැකසීම ආරම්භ කළද කොවිඩ් දෙවැනි රැල්ල නිසා මෙය තරමක් ප්‍රමාද වු බවද හෙතෙම පැවසීය.

සංචාරකයන් ගෙන්වන ආයතන තුනක් රුසියානු කලාපයේ සංචාරකයන් ගෙන්වීමට කැමැත්ත පළ කළ බවත් ඒ අනුව ඉකුත් දෙසැම්බර් අග සිට මේ යුක්රේන සංචාරකයන් පිරිසක් මෙරට සංචාරය සදහා ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය දියත් කළ බවද  ඇමතිවරයා කීය.

මේ ව්‍යාපෘතියේ පවතින අඩුපාඩු  දැනටමත් හදුනා ගෙන ඇති බවත් , ඒ අනුව එම අඩු පාඩු නිවැරදි කර ගනිමින් මේ මාසේ 21 වන දින සිට  වානිජ ගුවන්ගමන් සදහා මත්තල සහ කටුනායක ගුවන්තොටුපල විවෘත කරන බව අමාත්‍යවරයා කීය.

සංචාරකයන් රටට ගෙන්වන ඕනෑම ආයතනයක්  අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන අනුගමනය කළ යුතු බවත් , ඒ මාර්ගෝපදේශ අනුගමනය නොකලොත් ඔවුන්ට එරෙහිව නිත්‍යානුකූල පියවර ගන්නා බවද  අමාත්‍යවරයා පැවසීය.

ගුවන්තොටුපල සහ සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන විපක්ෂය චෝදනා පදනම් විරහිත බවත් , යුක්රේනයෙන් පැමිණී සංචාරකයින් සියලු දෙනා කොවිඩ් ආසාදිතයින් බවට විපක්ෂ නගන චෝදනා අසත්‍ය බව ද සංචාරක අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට ගුවන්සේවා හා කාර්මික අපනයන සැකසුම් කලාප රාජ්‍ය අමාත්‍ය ඩි.වී. චානක සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්. හේට්ටිආරච්චි මහතා, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS