ගුවන්තොටුපල විවෘත කිරීමේ සාකච්ඡා සාර්ථකයි



ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර පැවති සාකච්ඡා සියයට 90 කින් සාර්ථක බව තමා ඇමති මණ්ඩලයට දැනුම් දුන් බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරකයන්ට රට විවෘත කරන දිනය ඉතා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන බවද තමා ඇමති මණ්ඩල රැස්වීමට දැනුම් දුන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ගුවන්තොටුපල හා සංචාරකයන්ට රට විවෘත කිරීමේ සූදානම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පසුගියදා පැවති ඇමති මණ්ඩලයේදී අවධානය යොමුවූ බවද සංචාරක අමාත්‍යවරයා සදහන් කළේය.

සෞඛ්‍ය උපදෙස් මත නිසි ක්‍රමවේදයන් අනුව සංචාරක කර්මාන්තය යලි ආරම්භ කිරීමට එකඟතාවය පල කල හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙහිදී කියා සිටි බවත් , මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කල බව පැවසූ ජනාධිපතිවරයා  හඳුනාගත් ප්‍රදේශ වලට සංචාරකයන් ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයන් අනුගමනය කිරීම (Travel bubbles) සුදුසු යැයි පැවසූයේ යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

සංචාරකයන් සඳහා වෙන්වූ විශේෂ ප්‍රදේශවල පිහිටි සංචාරක හෝටල් වලට සංචාරකයන් ගෙන්වී‍මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ වැඩි එකඟතාවක් පවතින බවත් , මීට අඳාල ක්‍රමවේදය සකස් කිරීමට පත් කල  ඒකාබද්ධ කමිටුවේ අවසන් එකඟතාවයන් සම්බන්ධයෙන් කොවිඩ් කමිටුව සමඟත් ජනාධිපතිවරයා සමඟත් ස‍ාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා මෙහිදී කීවේය.

මේ අතර ගුවන්තොටුපල හා සංචාරකයන්ට  රට විවෘත කිරීම සම්බන්ධයෙන් වැඩපිළි‍වෙලක් සැකසීම සඳහා පත් කල සංචාරක හා සෞඛ්‍ය බලධාරීන්ගෙන් සමන්විත කමිටුව පසුගිය 7 වැනිදා පැවති  සාකච්ඡාවේදී සංචාරකයන් සඳහා වෙන්වූ විශේෂ ප්‍රදේශ වලට සංචාරකයන් ගෙන්වීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

සංචාරකයන් දිවයිනට පැමිණිවිට සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් වල පමණක් ඔවුන් රැඳවීමටත් ඔවුන් පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම පිළිබඳවත් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී..

මීට අඳාල ඒකාබද්ධ කමිටු සාකච්ඡා ඉතා කඩිනමින් අවසන් කර ඔවුන්ගේ මාර්ගෝපදේශ විෂයභාර අමාත්‍යවරුන්ට ලබාදීමටද මෙහිදී තීරණය කර තිබේ.

( තිළිණි ද සිල්වා )‍‍‍‍


RECOMMEND POSTS