ගුවන් මගීන්ට පී.සී.ආර් පරීක්ෂණ



දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් සදහා පි.සී.ආර් පරීක්ෂාව කටුනායක ගුවන් තොටුපළේ දී ඇරඹූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. එම පරීක්ෂාවේ ප්‍රතිඵලය අනුව පැමිණෙන සියලු දෙනා රෝහල්ගත කිරීම හා නිරෝධායනයට යොමු කෙරෙන බව ද අමාත්‍යවරයා කියා සිටියේය. උඩුගම්පළ කාර්යාලයේදී ඊයේ (01) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේ ය.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකාය විසින් ගත් තීරණයක් අනුව මෙම පියවර ගත් බව ද ඇමතිවරයා මෙහි දී කීවේය. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ලෝකයේ බොහෝ ගුවන් තොටුපළ මේ වන විට නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරි මාස වල දී මෙලෙස ලෝකයේ විවිධ ගුවන් තොටුපළ විවෘත කෙරුණද විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වීමේ වැඩපිළිවෙල නිසා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ අගෝස්තු මස මුලදී යැයිද කියා සිටියේය.

අගෝස්තු මුල දී සංචාරකයන් සදහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කෙරුණ ද පැමිණෙන සියලු සංචාරකයන් ගුවන්  තොටුපළේ දී අනිවාර්යෙන් ම පි.සී.ආර් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් , රට තුළට කොවිඩ් 19 රෝගියෙකු ඇතුළු වීම වැළැක්වීම මෙහි අරමුණ බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කියා සිටියේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වීමේ වැඩසටහන අතරමග නතර නොකරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා විදේශ රටවල කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අපේක්ෂාව බව ද කීවේ ය.මේ වන විට රටවල් 21 ක විදෙස්ගත ශ්‍රමිකයන් 10,000 කට ආසන්න පිරිසක් දිවයිනට ගෙනවිත් නිරෝධායනය සදහා යොමු කර ඇත. තවත් 20, 000 කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටිති. ඔවුන්ව ද දිවයිනට ගෙන්වා ගැනීම විධිමත් ක්‍රමවේදයකට අනුව සිදු කෙරෙන බව ද ඇමතිවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS