කොළඹ තෙත් බිම් නගරයක්



කොළඹ නගරය තෙත් බිම් නගරයක් ලෙස පසුගියදා ඩුබායි හි පැවති රැම්සා පාර්ශවකරුවන්ගේ සම්මුතියෙහි 13 වැනි සැසිවාරයේ දී ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

කොළඹ අවට පවත්නා තෙත්  බිම් මඟින් සිදුවන පාරිසරික සේවයේ ඇති වැදගත්කම සැළකිල්ලට ගෙන මෙසේ කොළඹ නගරය තෙත් බිම්  නගරයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබ ඇති බව එම සැසියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (මෙහෙයුම්) මංජුල අමරරත්න මහතා ලංකාදීපය පැවැසීය.

රැම්සා සම්මුතිය පළමු වතාවට මෙසේ තෙත්බිම් නගර සංකල්පය ප්‍රකාශයට පත් කොට ඇති අතර ඒ වෙනුවෙන් ලෝකයේ රටවල් 6 ක නගර 18 ක් තෙත්බිම්  නගර ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

චීනයේ නගර 6ක් ද, ප්‍රංශයේ නගර 4ක් ද, කොරියාවේ නගර 4ක්, හංගේරියාවේ නගරයක්, ටියුනීසියාවේ නගරයක්, මැඩගස්කරයේ නගරයක්, හා කොළඹ නගරය මෙසේ නාගරික තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබ ඇත.

කොළඹ මහ නගර සභා ප්‍රදේශයේ, කොළොන්නාව නගර සභා ප්‍රදේශයේ හා ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගර සභා ප්‍රදේශයේ ඇති තෙත් බිම් සැලකිල්ලට ගෙන මෙසේ තෙත් බිම් නගරයක් බවට ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති  බව ද අමරරත්න මහතා  කීය.

කොළඹ නගරයේ ඉදිරි සංවර්ධන ක්‍රියාකාරකම් සිදු කිරීමේ දී නාගරික තෙත්  බිම් නගරයක් බව සැළකිල්ලට ගනිමින් පරිසරයට අහිතකර බලපෑම් සිදු නොවන පරිදි සැලසුම් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ඉදිරියේ දී පරිසර  හිතකාමී ක්‍රියාකාරකම් තුළින් කොළඹ සුවිශේෂී සංචාරක පුරවරයක් බවට පත්කළ හැකි බව ද අමරරත්න මහතා තව දුරටත් සඳහන් කළේය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS