කොරෝනා වයිරසය ගැන විමසිල්ලෙන්



චීනයේ වූහාන් නගරය කේන්ද්‍රකොට ගනිමින් පැතිරෙන කොරෝනා මාදිලියේ වයිරසය සම්බන්ධයෙන් සැමවිටම චීන බලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සබඳතා අමත්‍යාංශය පවසා ඇත.

බීජීං අගනුවර පමණක් නොව වූහාන් නුවර බලධාරීන් සමඟ ද සම්බන්ධ වෙමින් වයිරසය පැතිරීම සම්බන්ධයෙන් තොරතුරු සොයා බලන බව ද විදේශ සබඳතා අමත්‍යාංශය වැඩිදුරටත් පවසා ඇත.

වූහාන් නුවර සිටින ලාංකිකයන් පිළිබඳ නිරන්තරයෙන් තොරතුරු ලබා ගන්නා බවත්, අවශ්‍ය වුවහොත්, එම ලාංකිකයන් කඩිනමින් වූහාන් නුවරින් ඉවත් කර ගැනීමට කටයුතු යොදන බවත් විදේශ සබඳතා අමත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.

වූහාන් නුවර අධ්‍යාපනය ලබමින් රැඳී සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ගණන 100 ක් බවත්, චීන නව අවුරුදු උදාවට සමගාමීව අධ්‍යාපන ආයතන නිවාඩු ලබා දී ඇති බැවින් ඔවුන්ගෙන් වැඩි දෙනකු මීට සති කීපයකට පෙර මෙරටට පැමිණ ඇති බවත් වාර්තා වේ. දැනට වූහාන් නුවර රැඳී සිටින සිසු සිසුවියන් ගණන 25 ක් හෝ 30 ක් පමණ යැයි ද විදේශ සබඳතා අමත්‍යාංශය පෙන්වා දී තිබේ.

මේ අතර, කොරෝනා වයිරසය මෙරටට පැතිරීම වැළැක්වීමට පියවර රැසක් අනුගමනය කරන බව ශ්‍රී ලංකා ගුවන් සේවය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වාර්ෂිකව චීන ජාතිකයන් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණෙන බව ද පැවැසෙයි.


RECOMMEND POSTS