කොරෝනා මර්දනයට කැප වෙනවා



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ගෙන්වන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත, ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ ආරක්ෂක සේවා සදහා ලබාදීමේ කටයුතු ආරම්භ කිරීමට ලැබීම පිළිබදව තමා ඉතා සතුටට පත්වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙරට ජනතාවට එන්නත ලබාදීමේ ක්‍රියාවලිය ඊයේ (29) ආරම්භ විය.

 තමන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබාගනිමින් සිටින බැවින් පළමු එන්නත්කරණ වැඩසටහනට සහභාගි වීමට නොහැකි වූවත් මෙම එන්නත්කරණ වැඩ පිළිවෙල ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමත් සමග මෙරට කොවිඩ් වයිරසය මර්දනය වැඩපිළිවෙල තවත් ශක්තිමත් වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා ඇත.

 ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කොට එන්නත්කරණ වැඩපිළිවෙළක ඇති වැදගත්කම පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත්, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යන මහත්වරුන්ගේ නායකත්වය සහ මැදිහත්වීම මත මෙරටට මෙම එන්නත බලාපොරොත්තු වූ කාල සීමාවටත් පෙර ලබාගැනීමට හැකි වීම සතුටට කරුණක් බව ද ඇය අවධාරණය කර තිබේ.

කඩිනමින් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීමට කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉන්දීය රජයටත්, මෙම කටයුතු සම්බන්ධීකරණය කළ ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා ඇතුළු කොවිඩ් එන්නත්කරණ කමිටු සාමාජිකයන් සියලු දෙනාටත්, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඇතුළු දේශපාලන නායකත්වයටත්, ශ්‍රී ලංකා සහ ඉන්දියානු මහ කොමසාරිස්වරුන්ටත්, සෞඛ්‍ය ලේකම් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ටත්, එන්නත ලැබුනු අවස්ථාවේ සිට බෙදාහැරීම් කටයුතු සිදු කරන සහ එන්නත්කරණ වැඩපිළිවෙලට සම්බන්ධ වෛද්‍ය, හෙද ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ නන් අයුරින් සහයෝගය දැක් වූ සියලු දෙනාටත් සිය ස්තූතිය මෙම අවස්ථාවේ පුද කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය කියයි.

බස්නාහිර පළාතේ රෝහල් හයකදී ආරම්භ වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම අදියර වශයෙන් හෙට දින සිටම මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සඳහා එන්නත්කරණය කිරීමට පියවර ගෙන ඇති බවත්, මෙරට සියලු ජනතාවට ද එන්නත ලබාදීමට ඉදිරියේ දී කටයුතු සිදු කරන බවත් කී සෞඛ්‍ය අමාත්‍යවරිය කොවිඩ් මර්දනය සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් මෙරටින් කොවිඩ් -19 වයිරසය තුරන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කැපවී කටයුතු කරන බවද ඇය තවදුරටත් සඳහන් කරයි.


RECOMMEND POSTS