කොරියාවෙත් පොදු සමා කාලයක්



නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින විදේශිකයින්ට එරටින් පිටවීම සඳහා මාස තුනක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීමට දකුණු කොරියානු රජය පියවර ගෙන ඇත.

මෙම කාල සීමාව ජූලි මස 10 වන දින ආරම්භ වූ අතර, එය ඔක්තොම්බර් මස 10 දින දක්වා මාස 3ක කාලයක් වලංගු වේ.

2011 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා 1983ක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් නීතිවිරෝධී අයුරින් කොරියාවේ රැඳීසිටින අතර, ඔවුන් සඳහා නීති මාර්ගයෙන් කටයුතු කර ලක්‍ෂ 20ක ඇප බැඳුම්කරය අයකර ගැනීමට කාර්යාංශය මේ වන විට කටයුතු කරමින් පවතී.

පොදුසමා කාලසීමාව ප්‍රයෝජනයට ගනිමින් නැවත දිවයිනට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් කොරියාවේ රැඳී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළදී ගනු ලබන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වලින් ඔවුන් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කියයි. 

මේ සම්බන්ධයෙන් අදහස් පළකළ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, කොරියානු රජය මඟින් ප්‍රකාශයට පත්කර ඇති මෙම පොදු සමා කාලය ප්‍රයෝජනයට ගෙන නීතිවිරෝධීව කොරියාවේ රැඳී සිටින ශ්‍රමිකයින්ට දිවයිනට පැමිණෙන ලෙසයි.

පොදු සමාකාලය තුළදී දිවයිනට නොපැමිණ කොරියාවේ රැඳී සිටින ශ්‍රමිකයින් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයට සිදුවන බවද, තමන්ගේ ඥාතීන් කොරියාවේ නීති විරෝධීව රැඳී සිටීනම් ඔවුන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරිය මෙරට සිටින ඥාතීන්ගෙන් ඉල්ලා සිටියි.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS