කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය



කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී පසුගිය 24 සිට මාර්තු 02 වැනිදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව,මතුගම, මඩකලපුව     අම්පාර, හලාවත, දඹුල්ල, ගාල්ල, යාපනය, පොළොන්නරුව   ත්‍රිකුණාමලය, තංගල්ල, සහන පියස සහ පන්නිපිටිය යන ප්‍රදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන වේ.

මෙවර විභාගය නිශ්පාදන හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර සඳහා පැවැත්වේ. මෙවර කොරියානු භාෂා ප්‍රවීනතා විභාගය පරිගණක ආශ්‍රිතව පැවැත්වෙන අතර, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා මාර්තු මස 19 සිට මැයි 4 දින දක්වාත් නිශ්පාදන ක්ෂේත්‍රය සඳහා මැයි 25 සිට ඔක්තෝම්බර් 5 දක්වාත්  පැවැත්වීමට නියමිතය.

වයස අවුරුදු 18 සිට 39 දක්වා ශ්‍රී ලාංකික පුද්ගලයින්ට විභාගය සඳහා අයදුම්කළ හැකිය- අයදුම්පත්‍ර පිරවීමට තමන්ගේ ගමන් බලපත්‍රය හා එහි පිටපතක්ද, සෙ.මි 3.5×4.5 ප්‍රමාණයේ ඡායාරූප 3ක් තිබිය යුතුවේ- අයදුම්පත්‍ර නොමිලේ නිකුත් කරන අතර, විභාග ගාස්තු ලෙස ඇමරිකන් ඩොලර් 24 හෙවත් ශ්‍රි ලංකා මුදලින් රුපියල් 3,772.00 ගෙවිය යුතුවේ.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වන අයදුම්කරුවන්ගේ නම වසර දෙකක කාලයක් කොරියානු රැකියා වෙබ් අඩවියේ  වලංගුව පවතින බවද කාර්යංශය කියයි.

කොරියාවේ රැකි රක්ෂා හා කම්කරු අමාත්‍යංශයත් ශ්‍රී ලංකාවේ විදේශ රැකියා අමාත්‍යංශයත් අතර ඇති අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලාංකිකයින්ට කොරියාවේ රැකියා අවස්ථා හිමිවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කොරියානු විභාගය පිළිබඳ අදහස් දක්වමින්  පැවැසුවාය.

කොරියානු රැකියා සඳහා කිසිඳු දේශපාලන මැදිහත්වීමක් සිදුනොකල හැකි බවත්, එය කොරියානු මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ඉතා විනිවිද අයුරින් සිදුකරන බවත් එම නිසා වංචනික අයුරින් කොරියානු රැකියා ලබාදීමට උත්සහ කරන්නන්ට නොරැවටෙන ලෙසත් අමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

කොරියානු රැකියා ශ්‍රී ලංකාවේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ විදේශ රැකියා අමාත්‍යංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණකි.

කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වීම කොරියාවේ රැකියාවක් ලැබීමට අනිවාර්යය සුදුසුකමක් නොවන අතර, රැකියා සඳහා තෝරා ගනු ලබන්නේ කොරියාවේ නිෂ්පාදන හා ඉදිකිරීම් අංශයේ පවතින පුරප්පාඩු මත බවත්,  ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු බලපෑමක් කළ නොහැකි බවත්  කාර්යාංශය අවධාරණය කරයි.

විභාගය සමත් කිරීමට බලාපොරොත්තුවන සංඛ්‍යාව විභාග ප්‍රතිඵල මත තීරණය කෙරෙන අතර, සමත්වූවන් සඳහා කුසලතා පරීක්ෂණයක්ද පැවැත්වේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS