කූඨ ලේඛනවලට හසුනොවන්න !



සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින් හට තීරුබදු සහන යටතේ වාහන බලපත්‍ර ලබාදෙන බවට ඉදිරිපත් කරන කූඨ ලේඛනවලට හසුනොවන ලෙස මුදල් අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ බදු සහන යටතේ වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කරන බවට මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු ඇතුළත් කොට ව්‍යාජ ලිපි සංක්‍රමණිකයින් වෙත යොමුකර ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

එමෙන්ම එම ලිපි ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ විවිධ මාධ්‍යයන් මඟින් බෙදාහරිමින් සිදුකෙරෙන බවට තොරතුරු වාර්තා වන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින් හට තීරු බදු සහන යටතේ වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනාවක් මුදල් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කර නොමැති බව මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.

මුදල් අමාත්‍යාංශයේ වෙළෙද හා අයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මඟින් මහජනයා වෙත සපයනු ලබන සේවාවන් පිළිබඳව මහා භාණ්ඩාගාරයේ නිල වෙබ් අඩවියේ විධිමත් ලෙස දැන්වීම් පල කරන බව ද  මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS