කුවේට්හිදී ආබාධිතවූ සුජානි ලංකාවට ගෙන්වීමට පියවර



කුවේට්හි අල් අදාන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන කොකුන්නෑව, රනෝරාව ලිපිනයේ පදිංචි බන්දුලගේ සුජානි රාජපක්‍ෂ මහත්මිය ඉක්මණින්ම දිවයිනට ගෙන්වා ගැනීමට එරට තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත කටයුතු කරන බව අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඇයගේ ස්වාමිපුරුෂයා, පවුලේ ඥාතීන් හමුවූ අවස්ථාවේ කියා සිටියාය.
තම සේවා ස්ථානයෙහි ඉහළ මහලේ සිට වැටීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. ඉන් ඇගේ කොඳු ඇට පෙළ බිඳීමක් සිදුවී තිබේ. දැනට ඇය සුවය ලබමින් සිටින අතර, ඇය ප්‍රකාශ කරන්නේ සේවය කළ ස්ථානයේ හාම්පුතා විසින් ඇයව ඉහළ මහලේ සිට තල්ලු කළ බවකි.
ඒ අනුව තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමුවී තිබේ. මීට අමතරව ඇය රෝහල් ගතවූ දිනයේ සිට මේ වන තෙක් සියළුම වියදම් කුවේට් තානාපති කාර්යාලය විසින් දරා තිබේ.
2014.12.17 දින කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් හි රැකියාවක් සඳහා සුජානි රාජපක්‍ෂ මහත්මිය  විදේශ ගතවී ඇති අතර, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිට ඇයට අවශ්‍ය පහසුකම් ලබාදීමට උපදෙස් දී තිබේ. ඇගේ සුවදුක් බැලීමට ස්වාමිපුරුෂයා හට කුවේට් යාමට අවස්ථාවක් ලබාදීමටද කටයුතු සූදානම් කළ අතර, ඇගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ, හැකි ඉක්මණින් ඇයව ගෙන්වා දෙන ලෙසයි. ඒ අනුව, ඊයේ දින අමාත්‍යතුමිය, පවුලේ ඥාතීන් හමුවේ අවශ්‍ය සියලු පියවර ගන්නා බව ප්‍රකාශ කළාය.
මෙහිදී ඇගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ, මේ සිදුවීම උපයෝගි කරගනිමින් විවිධ පාර්ශවයන් වෙනත් වාසි ගැනීමට උත්සහ කරමින් සිටින බවත්, විවිධ සංවිධාන නිවසට පැමිණ ඒ අයට උදව් කිරීමට කටයුතු කරන බව පවසමින් සිටින බවද සඳහන් කළහ.
මෙම හමුවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ, මාධ්‍ය ප්‍රකාශක නීතීඥ උපුල් දේශප්‍රිය, විදේශ සම්බන්ධතා අංශයේ කළමණාකරු අනෝමා රාමනායක, අනුරාධපුර විගමණික සම්පත් මධ්‍යස්ථානයේ කළමණාකරු ඩී.ඩී.ලක්රාණි යන මහත්ම මහත්මීන්ද එක් වී සිටියහ.


RECOMMEND POSTS