කුවේට්හි ප‍්‍රතිකාර ලැබූ කාන්තාව විදේශ රැකියා අමාත්‍යතුමියගේ මැදිහත් වීමෙන් දිවයිනට



කුවේට්හි රැකියා ස්ථානයේ ඇතිවූ හදිසි අනතුරක් හේතුවෙන් කුවේට්හි අල් අදාන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ කැකිරාව කොකුන්නෑව, රනෝරාවේ පදිංචි බන්දුලගේ සුජානි රාජපක්‍ෂ මහත්මිය අද (27) කුවේට් ගුවන් සේවයට අයත් KU363 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණිමට නියමිතය.

ඇයට අවශ්‍ය පහසුකම් හා අනෙකුත් සියළු දේ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත සිදුකරනු ඇතැයි කාර්යංශය පවසයි.

මෙම කාන්තාව  දිවයිනට පැමිණෙන්නේ කුවේට් අල් අදාන් රෝහලේ හෙදියක සමග වන අතර, ඇය දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියළු වියදම් අමාත්‍යතුමියගේ උපදෙස් පරිදි කාර්යාංශය මගින් දරා තිබේ.

මෙම කාන්තාවගේ පවුලේ ඥාතීන් 2016.12.06 දින අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය හමුවූ අතර, එහිදී ඔවුන් අමාත්‍යතුමියගෙන් ඉල්ලා සිටියේ ඇයව හැකි ඉක්මණින් දිවයිනට ගෙන්වා දෙන ලෙසයි. ඇයගේ සෞඛ්‍ය තත්වය යම් මට්ටමකට පැමිණෙන තුරු ඇය අල් අදාන් රෝහලේ ප‍්‍රතිකාර ලැබූ අතර, අමාත්‍යතුමිය විසින් ඇයගේ පවුලේ ඥාතීන්ට කුවේට් රෝහලට ගොස් ඇයගේ සුවදුක් බැලීමට අවස්ථාව ලබාදීමටද ඉදිරිපත් වූවාය. එහෙත් ඥාතීන්ගේ ඉල්ලීම පරිදි ඇය දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලදී.

2014.12.17 දින කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් හි රැුකියාවක් සඳහා සුජානි රාජපක්‍ෂ මහත්මිය  විදේශ ගතවී ඇති අතර, 2015.12.06 දින තම සේවා ස්ථානයෙහි ඉහළ මහලේ සිට වැටීම හේතුවෙන් රෝහල් ගත කර ඇත. ඉන් ඇගේ කොඳු ඇට පෙළ බිඳීමක් සිදුවී තිබේ. දැනට ඇය සුවය ලබමින් සිටින අතර, ඇය ප‍්‍රකාශ කරන්නේ සේවය කල ස්ථානයේ හාම්පුතා විසින් ඇයව ඉහළ මහලේ සිට තල්ලූ කල බවයි. ඒ අනුව තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් මේ වන විට නීතිමය කි‍්‍රයාමාර්ග සඳහා යොමුවී තිබෙන අතර දැනට අධිකරණයේ නඩුවක්ද පවතී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යතුමිය සඳහන් කළේ, සිදුවීම වාර්තා වූ දින සිට තමන් පෞද්ගලිකව මේ සම්බන්ධයෙන් සොයා බැලූ බවත්, අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා අදාළ නිළධාරීන්ට උපදෙස් ලබාදුන් බවයි. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS