ක්ෂමා සංවිධානය විමසිල්ලෙන්



ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා ඉදිරිපත් වූ 30/1 යෝජනාව සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ගතවන කාලසීමාව ප්‍රකාශයට පත් කරන්නැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ශ්‍රී ලංකාවට අවධාරණය කරයි.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ඒ බව සඳහන් කර තිබේ. 

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සම්මුති පනත සම්මත කරගැනීම, සංහිඳියාව සඳහා උපදේශන කාර්ය සාධන බලකායක් පත් කිරීම, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාල පනත සම්මත කිරීම, එම කාර්යාලයට සාමාජිකයන් පත් කිරීම හා බලහත්කාරයෙන් අතුරුදන් කිරීම සාපරාධීය වරදක් බවට පත් කිරීම යනාදි වැදගත් පියවර කිහිපයක් ගෙන ඇතැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වාදෙයි.

කෙසේ වුවත් බලහත්කාරයෙන් අතුරුදන්  කරන ලද දහස් ගණනක් සම්බන්ධයෙන් කටයුතු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සුළු ආගමික හා ජනකොටස් ආරක්ෂා කිරීම සුරක්ෂා කිරීම හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම යන කරුණුවලදී ශ්‍රී ලංකාව ප්‍රගතියක් පෙන්නුම් කර නැතැයි ද ඒ සම්බන්ධයෙන් කනගාටුවට පත්වන්නේ යැයි ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සඳහන් කරයි.

එම නිසා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම, වගවීම සහතික කිරීම, හානිපූරණය, රැඳවුම්භාරයේ සිටින සහ ආරක්ෂක අංශවලට භාර වූ සියලු දෙනාගේ ලැයිස්තුවක් සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම කඩිනම් කරන්නැයි ද අදාළ පියවර ක්‍රියාත්මක කිරීමට ගතවන කාලනුරූප සැලැස්මක් ඉදිරිපත් කරන්නැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ශ්‍රී ලංකා රජයට අවධාරණය කරයි.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS