කම්කරු අයිතීන් ගැන දැනුවත් කෙරේ



කටාර්හි සේවයේ නියුතු ස්වදේශික මෙන්ම විදේශික ශ්‍රමිකයින්ට කම්කරු නීතියෙන් හිමි අයිතීන් සම්බන්ධයෙන් එරට පරිපාලන සංවර්ධන හා සමාජ කටයුතු අමාත්‍යංශය මඟින් සේවායෝජකයින්ට සිහිපත් කිරීමක් කර තිබේ.

එහිදී සේවකයින් සියලු දෙනාටම බලපැවැත්වෙන පරිදි සතියකට එක් දිනක්වත් වැටුප් සහිතව නිවාඩු හිමිවිය යුතු බවට කම්කරු බලධාරීන් විසින් සේවායෝජකයින්ට තරයේ අවධාරණය කර ඇත.

කටාර් කම්කරු නීතියේ 75 වෙනි වගන්තියට අනුව ශ්‍රමිකයින්ට හිමි නීති රීති ද ඉදිරිපත් කරමින් නිවේදන නිකුත් කර තිබෙන අතර එහිදී  පහත දැක්වෙන නියමයන් දක්වා ඇත.

සේවා මුර ක්‍රමය යටතේ සේවය කරන අය හැර අනෙකුත් සේවකයින්ට පිට පිට සිකුරාදා දින දෙකක් සේවයේ යෙදවීම කම්කරු නීතියට අනුව තහනමකට ලක්කොට තිබේ.

සේවායෝජකයෙකු විසින් මෙම නීති රීති උල්ලංඝනය වන අයුරින් ශ්‍රම සූරාකෑමක් සිදුකරයි නම් ඒ වෙනුවෙන් නැඟී සිටීමට සේවකයින්ට අයිතියක් ඇතිබව පෙන්වා දෙන කම්කරු අමාත්‍යාංශය ඔවුන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින බව අවධාරණය කර තිබේ.
කම්කරු නීතියෙන් ශ්‍රමිකයින්ට හිමි ඕනෑම අයිතියක් සේවායෝජකයින් විසින් කඩ කරයි නම් ඒ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශයට පැමිණිලි කිරීමට සේවකයින්ට හැකියාව තිබෙන බවත් ඒ වෙනුවෙන් සෘජු දුරකථන සේවාවක් කඩිනමින් ස්ථාපිත කිරීමට සැලසුම් සකස් කර  ඇති බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙහිදී විශේෂයෙන් දැක්වියයුතු කාරණය වන්නේ කම්කරු නීතිය යටතේ ආවරණය වෙන සියළුම ශ්‍රමිකයින්ට ඉහත දැක්වෙන ශ්‍රමික අයිතීන් හිමි වෙන නමුත් ගෘහ සේවය යටතේ සිටින අයට (උද්‍යාන පාලකයින්, සාත්තු සේවිකාවන්, ගෘහ කෝකිවරුන්, නිවෙස්වලට අනුයුක්තව සේවය කරන රියදුරන් ) මෙම නීතිය වලංගු නොවෙන බවයි.

නමුත් කටාරයේ ගෘහ සේවයට අදාළ නෛතික ආරක්ෂාව සැලසෙන පරිදි නව නීතියක් කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සම්මත වී තිබෙන අතර ඒ හරහා ගෘහ සේවක සේවිකාවන්ටද සේවා කාලය තුළ සහනයක් සැලසෙන පරිදි නීති රීති ක්‍රියාත්මක වෙනු ඇත.

ඒ අනුව කටාර්හි ශ්‍රමිකයින්ට සතියකට හිමි එක් දිනක නිවාඩුව සෑම සතියකදීම ඔවුන්ට හිමිවිය යුතු බවත් එම නීතිය උල්ලංඝනය කිරීම් වලට එරෙහි කඩිනමින් ක්‍රීයාමාර්ග ගැනීමට රාජ්‍ය කම්කරු නිලධාරීන් කටයුතු කරන බවත් කටාර්හි පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS